1සමිඳාණන් වහන්සේ ක්‍රියා කරන දවස පැමිණෙන්නේ ය. එකල ඔබ කොල්ලකනු ලැබ කොල්ලය ඔබේ ඇස් හමුයෙහි බෙදනු ලැබේ.
2ජෙරුසලමට විරුද්ධ ව යුද්ධ කරන පිණිස සමිඳාණන් වහන්සේ සියලු ජාතීන් එක්රැස් කරන සේක. නගරය අල්ලාගනු ලැබේ; ගෙවල් කොල්ලකනු ලැබේ; ස්ත්‍රීහු දූෂණය කරනු ලබති; සෙනඟගෙන් දෙකෙන් කොටසක් වහල්කමට ගෙනයනු ලබන අතර, ඉතිරි කොටස නුවරින් පිටත ගෙනයනු නොලබති.
3සමිඳාණන් වහන්සේ ඉදිරියට ගොස් පසුගිය කාලයෙහි යුද්ධ කළ පරිදි ඒ ජාතීන්ට විරුද්ධ ව යුද්ධ කරන සේක.
4ඒ කාලයේ දී ජෙරුසලමට නැගෙනහිරෙන් පිහිටි ඔලීව කන්ද මත සමිඳාණන් වහන්සේ වැඩහිඳින සේක. එකල ඔලීව කන්ද නැගෙනහිර සිට බටහිර දෙසට දෙපළු වී මැදින් මහත් මිටියාවතක් මතු වන්නේ ය. කන්දෙන් භාගයක් උතුරු දෙසටත්, අනෙක් භාගය දකුණු දෙසටත් වෙන් වී යන්නේ ය.
5නුඹලා ද මාගේ කන්දේ මිටියාවත මැදින් බේරී පලා යන්නහු ය. මන්ද, ඒ මිටියාවත කන්දෙන් එහා පැත්ත දක්වා ඇත. ජුදාහි රජ වූ උශ්ශියාගේ කාලයේ දී භූමිකම්පාවක් ඇති වූ විට නුඹලාගේ මුතුන්මිත්තන් පලා ගිය පරිදි නුඹලාත් පලා යන්නහු ය. එවිට මාගේ දෙවි සමිඳාණන් වහන්සේ සියලු ශුද්ධවන්තයන් පිරිවරා වඩින සේක.
6ඒ කාලයේ දී උෂ්ණය වත්, ශීත වත් ඇති නොවන්නේ ය.
7දවාලත්, රැයත් නොවී, සවස් වේලාවට එළිය ඇත්තා වූ, සමිඳාණන් වහන්සේ පමණක් දන්නා වූ, එක්තරා දවසක් පැමිණෙන්නේ ය.
8
9එකල සමිඳාණන් වහන්සේ මුළු ලෝකයේ රාජයාණෝ වන සේක. සියලු දෙන උන් වහන්සේ දෙවියන් වහන්සේ වශයෙන් නමදිනු ඇත. එක ම නමකින් උන් වහන්සේ හඳුන්වනු ලබන සේක.
10උතුරේ ගෙබා සිට දකුණේ රිම්මොන් දක්වා ඇති ජෙරුසලම අවට මුළු දේශය සමතලා කරනු ලබන්නේ ය. ජෙරුසලම ඒ අවට ප්‍රදේශයට ඉහළින් උස් ව තිබෙන්නේ ය. ‘බෙන්ජමින් දොරටුව’ සිට කලින් දොරටුවක් තිබුණු ‘කොනේ දොරටුව’ දක්වා ද ‘හනනෙල් කොත’ සිට රජුගේ මුද්‍රික තටාකය දක්වා ද නුවර පැතිර පවතින්නේ ය.
11
12ජෙරුසලමට විරුද්ධ ව යුද්ධ කරන සකල ජාතීන් කෙරෙහි වසංගතයක් සමිඳාණන් වහන්සේ පමුණුවන සේක. ඔවුන් සිටගෙන සිටිය දී ඔවුන්ගේ මාංස කුණු වී යන්නේ ය. ඔවුන්ගේ ඇස් ද දිව් ද ජරාපත් වන්නේ ය.
13ඒ කාලයේ දී සමිඳාණන් වහන්සේ ඔවුන් අතර භීතියක් ඇති කරන සේක. ඒ නිසා, එක මිනිසෙකු තමා ළඟ සිටින මිනිසා අල්ලාගෙන ඔහුට පහර දෙනු ඇත.
14ජුදා සෙනඟ පවා ජෙරුසලමේ සිට සටන් කරනු ඇත. ඔව්හු අවට සියලු ජාතීන්ගේ සම්පත් වන රන් රිදී ද වස්ත්‍ර ද මහා රාශියක් එකතු කරගන්නෝ ය.
15අශ්වයන් ද අශ්වතරයන් ද ඔටුවන් ද කොටළුවන් ද සතුරු කඳවුරුවල සිටින සියලු සත්ත්වයන් ද කෙරෙහි වසංගතයක් පැමිණෙන්නේ ය.
16
17යම් දේශයක සෙනඟ සියලු බලැති සමිඳාණන් වහන්සේට රජාණන් වශයෙන් නමස්කාර කරන්න ජෙරුසලමට නොයන්නෝ නම්, ඒ දේශය පිට වැසි නොවසින්නේ ය.
18මිසර ජාතිකයෝ කූඩාරම් මංගල්‍යය පැවැත්වීමට නොපැමිණෙත් නම්, එසේ නොපැමිණෙන සියලු ජාතීන් කෙරෙහි සමිඳාණන් වහන්සේ පමුණුවන වසංගතය ඔවුන් පිටත් පමුණුවනු ලැබේ.
19කූඩාරම් මංගල්‍යය පැවැත්වීමට නොපැමිණෙන මිසර හා අවශේෂ ජාතීන් කෙරෙහි පැමිණෙන දඬුවම මෙය වේ.
20ඒ කාලයේ දී ‘සමිඳාණන් වහන්සේට කැප ය’ යන වචන අශ්වයන්ගේ මිණිගෙඩිවල කොටා තබනු ඇත. දේව මාලිගාවේ පිසීමට ගන්න භාජන පූජාසන ඉදිරියෙහි ඇති පාත්‍ර මෙන් කැප වූ භාජන වන්නේ ය.
21ජෙරුසලමේ හා ජුදාවේ ඇති, පිසීමට ගන්න සියලු භාජන සියලු බලැති සමිඳාණන් වහන්සේගේ නමස්කාරය සඳහා වෙන් කරනු ලබන්නේ ය. පූජා ඔප්පු කරන සෙනඟ පැමිණ, පූජාවට ගන්න මාංස තම්බන පිණිස ඒ භාජන පාවිච්චි කරනු ඇත. ඒ කාලය පැමිණි විට එක ම වෙළෙන්දෙකු වත් සියලු බලැති සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ නොසිටිනු ඇත.