හිතෝපදේශ 1:1-33 SINRV2006 - Bible AI

1 ඉශ්රායෙල් රජ වූ, දාවිත්ගේ පුත් සලමොන් පැවසූ හිතෝපදේශ මේ ය:

2ඒවායින්, ප්‍රඥාව ද විනය ධර්ම ද ධර්මාවබෝධය ද ලැබෙනු ඇත.

3ඒවායින්, බුද්ධි වර්ධනය හා දැහැමි ක්‍රියා ද අවංකකම ද යුක්තිය හා සාධාරණකම ද පිළිබඳ උපදෙස් ලැබෙනු ඇත.

4ඒවායින්, අනුවණයන් හට නුවණ ද තරුණයන් හට මනා අවබෝධය හා සිහිකල්පනාව ද ලැබෙනු ඇත.

5හිතෝපදේශ හා උපහැරණ ද

6බුද්ධිමතුන්ගේ කියුම් ද ප්‍රහේලිකා ද තේරුම්ගනු වස් නුවණැතියෝ ඒවාට සවන් දී දැනුම දියුණු කරගන්නෝ ය; ප්‍රාඥයෝ උපදෙස් ලබාගන්නෝ ය.

7දේව ගරුබිය ප්‍රඥාවේ මුල් පියවර යි; අනුවණයෝ නැණනුවණ හා විනය ධර්ම හෙළා දකිති.

8මාගේ පුත්‍රය, පියාගේ අවවාදය අසන්න; මවගේ උපදෙස් ඉවත නොදමන්න.

9ඒවා ඔබේ සිරසට හොබනා කිරුළක් ද ගෙලට අගනා මාලයක් ද වන්නේ ය.

10මාගේ පුත්‍රය, පවිටුන් මෙසේ කියමින් ඔබ පොළඹවන විට, එකඟ නොවන්න:

11“අප සමඟ එන්න, අපි මඟ රැක සිට කෙනෙකු මරාදමමු; සැඟවී සිට, වරදක් නොකළ නිදොස් අයෙකුට පහර දෙමු.

12පාතාලය මෙන් අපි ඔවුන් පණපිටින් ගිලදමමු; නිවැරදි වුව ද, ඔවුන් අපායට බසින්නවුන් මෙන් වනු ඇත.

13නන් වැදෑරුම් අගනා වස්තු අපි පැහැරගනිමු; කොල්ලකාගත් දෙයින් අපේ ගේදොර පුරවාගනිමු.

14එන්න, අපේ කල්ලියට එක් වන්න; අප කාටත් පොදු පසුම්බියක් තබාගනිමු.”

15මාගේ පුත්‍රය, ඒ පාරෙහි නම් නොයන්න; ඔවුන්ගේ ක්‍රියා මාර්ගයෙන් ඈත් වන්න.

16ඔව්හු, අපරාධ කිරීමට කඩාබිඳගෙන යති; ලේ වැගිරීමට වේගයෙන් දුවති.

17කුරුල්ලා බලා සිටිය දී දැල දැමීමෙන් පලක් නැත.

18මේ මිනිස්සු තමන්ට ම උගුල් අටවාගනිති; තමන්ගේ ම විනාශයට උපා යොදති.

19අයුතු ලාභයට ගිජු වන්නා එයින් ම වැනසේ. ඔහුගේ ඉරණම එය වේ.

20 ප්‍රඥා තොමෝ වීදිවල හඬනඟයි; ප්‍රසිද්ධ තැන්වල මොරගසයි.

21දෙනෝදහසක් රැස් වන මංසන්දිවල ඈ හඬනඟයි; නුවර වාසල් දොරටු ළඟ ඈ මෙසේ නිවේදනයක් කරයි:

22“අනුවණයෙනි, ඔබ කොතෙක් කල් අනුවණකමට ප්‍රිය වන්නහු ද? නින්දා කරන්නෙනි, ඔබ කොතෙක් කල් නින්දාවට ප්‍රසන්න වන්නහු ද? අඥානයෙනි, ඔබ කොතෙක් කල් දැනගැන්මට ගරහන්නහු ද?

23මාගේ තරවටුව හිතට ගන්න; එසේ කළොත්, මම මුළු හිතින් ගුරුකම් දෙන්නෙමි.

24මම හඬගැසුවෙමි; ඔබ සවන් දුන්නේ නැත. මම ආයාචනා කෙළෙමි; ඔබ සැලකුවේ නැත.

25ඔබ මාගේ සියලු දැනමුතුකම් ගණනට නොගත්තහු ය; මාගේ ඔවා බස් නොපිළිගත්තහු ය.

26ඒවායින් ඔබ විපතට වැටෙන විට මම සිනාසෙන්නෙමි; භීතිය පැමිණෙන විට ද මම සමච්චල් කරන්නෙමි.

27භීතිය, කුණාටුවක් මෙන් ඔබට පැමිණි විට ද විනාශය, සුළි සුළඟක් මෙන් එන විට ද සිත් වේදනා හා දුක ඇති වන විට ද මම සමච්චල් කරමි.

28එවිට ඔබ මට හඬගසන නමුත් මම උත්තර නොදෙමි; ඔබ හැමතැන ම මා සොයන නමුත් මා සම්බ වන්නේ නැත.

29ඔබ කවදත් දැනුම හෙළා දුටුවහු ය; දේව ගරුබිය එපා කළහු ය.

30ඔබ කිසිදාක මාගේ දැනමුතුකම් පිළිගත්තේ නැත; මාගේ ඔවා බස්වලට කන් දුන්නේ නැත.

31කළ කළ දේ ඔබට පල පල දෙනු නියත ය; ඔබේ උපායවල විපාක එපා වන තුරු ලැබෙනු ඇත.

32අනුවණ දනෝ නැණනුවණට පිටුපා මියයති; අමන දනෝ නොසැලකිලිකමින් වැනසී යති.

33එහෙත් මට සවන් දෙන තැනැත්තේ සුරැකි ව, විපතට නොබා, යෙහෙන් වසනු ඇත.