හිතෝපදේශ 10:1-32 SINRV2006 - Bible AI

1සලමොන් නිරිඳුන්ගේ හිතෝපදේශ මේ ය: නැණවත් පුතා පියා හට ප්‍රීතියකි, අනුවණ පුතා මවට ශෝකයකි.

2වංකකමින් ලබන වස්තුව නිෂ්ඵල වෙයි; එහෙත් අවංකකම මරණින් මුදයි.

3සමිඳාණෝ දැහැමි දනා හාමතට නොහරින සේක; එහෙත් දුදනන්ගේ මන දොළ නිෂ්ඵල කරන සේක.

4අලසකමින් දිළිඳුකම උපදියි; කඩිසරකමින් ධනය උපදියි.

5ගිම්හානයෙහි අස්වැන්න රැස් කරන්නා නැණවත් පුතෙකි; අස්වැන්න කාලයෙහි නිදන්නා නින්දිත පුතෙකි.

6දැහැමියන්ගේ හිස මත ආසිරි පැතිරෙයි; දුදනන්ගේ වචනවල සැහැසිකම සැඟවෙයි.

7දැහැමි දනා සැමරීම වාසනාවකි; එහෙත් දුදනන්ගේ නාමය පිළිකුලකි.

8පැණවතා අණපණත් පිළිගනියි; නන්දොඩන මෝඩයා වැනසී යයි.

9අවංක ව හැසිරෙන්නා සුව සේ වසයි; වංක මඟෙහි යන්නාගේ ක්‍රියා එළි වෙයි.

10වපර ඇසින් වරද දෙස බලන්නා කරදර උපදවයි; එහෙත් නිර්භය විවේචනය කරන්නා සාමය ගෙන දෙයි.

11සුදනන්ගේ කතාව ජීවන උල්පතකි; දුදනන්ගේ වචනවල සැහැසිකම සැඟවී ඇත.

12වෛරය කලහ උපදවයි; ප්‍රේමය වැරදි නොතකයි.

13නුවණැත්තා සිහිනුවණින් කතා කරයි; අනුවණයා කස පහර ලැබිය යුතුයි.

14නැණවත්හු දැනුම රැස් කරගනිති; එහෙත් මෝඩයන්ගේ කතාව විනාශය ළං කරගනියි.

15ධනවතාගේ ධනසම්පත ඔහුට බලකොටුවකි; දිළින්දාගේ දිළිඳුකම ඔහුට විනාශයකි.

16දමිටුන්ගේ විපාකය ජීවනය වේ; අදමිටුන්ගේ විපාකය විනාශය වේ.

17ශික්ෂා පිළිපදින්නා ජීවන මඟ යයි; අවවාදයට පිටු පාන්නා මුළා වී යයි.

18බොරු කියන්නා වෛරය උපදවන්නෙකි; කේලාම් පතළ කරන්නා අඥානයෙකි.

19කතාව වැඩි තැන වරදට ඉඩ ඇත; සිය මුව රැකගන්නා නුවණැත්තෙකි.

20සුදනන්ගේ තෙපුල් පිරිසිදු රිදී මෙනි; දුදනන්ගේ බසෙහි කිසි හරයක් නැත.

21දැහැමියන්ගේ බස් බහු ජන හිත සුව පිණිස වේ; එහෙත් අනුවණයෝ අනුවණකමින් වැනසෙති.

22සමිඳුන්ගේ ආසිරි සෞභාග්‍යය සලසයි; දැඩි ශ්‍රමයෙන් එය වැඩි කළ නොහැක.

23අනුවණයාගේ විනෝදය නපුරු ක්‍රියා කිරීම ය; නුවණැත්තාගේ ප්‍රීතිය ප්‍රඥාව ලැබීම ය.

24දුෂ්ටයා බිය වන දේ ම ඔහු පිටට එයි; ධර්මිෂ්ඨයා කැමැති වන දේ ම ඔහුට දෙනු ලැබෙයි.

25සැඬ සුළඟ පහවෙත් ම දුදනෝ ද පහ වී යති; එහෙත් සුදනන්ගේ අත්තිවාරම් සදා පවතිනු ඇත.

26අලසයාගෙන් කිසි වැඩක් නොගන්න; ඔහු, දත්වලට විනාකිරි ද ඇස්වලට දුම ද මෙන් වනු ඇත.

27සමිඳුන් කෙරෙහි ගෞරවය දිගාසිරි දෙයි; එහෙත් දුෂ්ටයෝ අඩු වයසින් මිය යන්නහු ය.

28දමිටුන්ගේ පැතුම සොම්නස ගෙන දෙයි; අදමිටුන්ගේ පැතුම නිෂ්ඵල වෙයි.

29සමිඳුන්ගේ මඟ අවංක අයට බලකොටුවකි; අයුතුකම් කරන්නන්ට එය මහ විපතකි.

30දැහැමියා සිය තැනින් කිසිදා නොසෙල් වෙයි; එහෙත් දුෂ්ටයාට දේශයෙහි තැනක් නැති වෙයි.

31දැහැමියාගේ මුවින් ප්‍රඥාව ගලා යයි; එහෙත් ප්‍රයෝගකාරී දිව සිඳදමනු ලැබෙයි.

32දැහැමියා සිය මුවින් ප්‍රස්තාවෝචිත දේ කියයි; එහෙත් දුෂ්ටයා කතාවෙන් කැරලිකාර දේ පවසයි.

>