හිතෝපදේශ 11:1-31 SINRV2006 - Bible AI

1හොර තරාදිය සමිඳුන්ට පිළිකුලකි; හරි පඩි සමිඳුන්ට ප්‍රීතියකි.

2අහංකාරය සමඟ නින්දාව එයි; එහෙත් යටහතුන් වෙත ප්‍රඥාව ඇත.

3අවංක අයට අවංකකම මඟපෙන්වයි. ද්‍රෝහියා සිය ද්‍රෝහිකමින් විනාශ වෙයි.

4මැරෙන දිනයේ දී සම්පතින් වැඩක් නැත; එහෙත් දැහැමි ජීවිතය මරණින් මුදයි.

5දැහැමිකමින් නිදොස් මිනිසාගේ ජීවිත ගමන පහසු වේ; අදමිටුකමින් අදමිටුන්ගේ ම වැටීම සිදු වේ.

6අවංක අය සිය දැහැමිකමින් ගැළවෙති; එහෙත් ද්‍රෝහියෝ සිය කූටෝපායවලට අසු වෙති.

7දුදනාගේ මරණය සමඟ ඔහුගේ පැතුම ද නැසෙයි; අභක්තිකයන්ගේ ප්‍රාර්ථනා ද එසේ ම නැසෙයි.

8ධර්මිෂ්ඨයා විපතෙන් මිදෙනු ඇත; දුෂ්ටයා මිදෙනු වෙනුවට විපතට පත් වෙනු ඇත.

9අභක්තිකයාගේ බසින් මිනිස්සු විනාශ වෙති; එහෙත් දමිටු අය ප්‍රඥාවෙන් ගැළවෙති.

10දැහැමි අයට සෙත සැලසෙන විට නගරය ප්‍රීති වෙයි; නොදැහැමියන් නසින විට නගරය ඔල්වර හඬ නඟයි.

11අවංක අයගේ ආශීර්වාදයෙන් නගරය උසස් වෙයි; එහෙත් දුදනන්ගේ වදනින් එය බිඳ වැටෙයි.

12සිය අසල්වැසියා හෙළා දකින්නා අනුවණයෙකි; එහෙත් නුවණැත්තා නිහඬ ව සිටියි.

13කේලාම් පතුරන්නා රහස් හෙළි කරයි. එහෙත් විශ්වාසවන්තයා රහස් සඟවා තබාගනියි.

14දක්ෂ නායකත්වය නැති තැන සෙනඟ පිරිහෙති; එහෙත් අනුශාසකයන් රැසක් සිටියොත් රට සුරැකේ.

15නොදන්න කෙනෙකුට ඇප වෙන්නා විපතට පැමිණෙයි; එසේ ඇප නොවෙන්නා සුරැකි ව සිටියි.

16විනීත වනිතාව ආත්ම ගෞරවය දිනාගනියි; එහෙත් අවිනීත ස්ත්‍රිය නින්දාවකි. අලසයා අත කිසි විටෙක මුදල් නැත; උත්සාහවන්තයා ධනවත් වෙයි.

17කාරුණික මිනිසා තමාගේ ම මිතුරා ය; ක්‍රෑර මිනිසා තමාගේ ම සතුරා ය.

18දුෂ්ටයා වංචාවෙන් ලබන දේ මායාවකි. එහෙත් යහපත වපුරන්නාට අස්වැන්නක් නියත ය.

19දැහැමි ජීවිතයෙහි පිහිටි අය ජීවනය ලබති; නපුරු මඟ යන්නෝ මරණය ළඟා කර ගනිති.

20වංක අය සමිඳුන් හට පිළිකුලකි; අවංක අය එතුමන්ට සතුටකි.

21දුෂ්ටයා දඬුවම් ලබනු සහතික ය; එහෙත් සුදනන්ගේ පරපුර ඉන් නිදහස් වනු ඇත.

22ඌරෙකුගේ හොම්බෙහි ලූ රන් මුදුව යම් සේ ද අනුවණ කාන්තාවගේ රූ සපුව ද එසේ ම ය.

23දමිටුන්ගේ මන දොළ හුදෙක් යහපත සඳහා වේ; දුදනන්ගේ පැතුමෙන් කිසි වැඩක් නැත.

24කෙනෙක් අත මිට දිගහැර දෙතත් පොහොසත් වෙති; තව කෙනෙක් දැඩි මසුරුකමින් දෙතත් දිළිඳු වෙති.

25ත්‍යාගශීලී වන්න, එවිට ඔබ පොහොසතෙක් වන්නෙහි ය; අන්‍යයන්ට ආධාර කරන්න, අන්‍යයෝ ඔබට ආධාර කරති.

26අනුන්ට නො දී ධාන්‍ය රැස් කරන්නාට සෙනඟ සාප කරනු ඇත; එහෙත් එය විකුණන්නා හට ආසිරි ලැබෙනු ඇත.

27යහපත ගැන වීර්ය කරන්නා කරුණාව ලබයි; එහෙත් නපුර සොයන්නා නපුර ම ලබයි.

28වස්තුව කෙරේ විශ්වාසය තබන්නා වියළි කොළයක් මෙන් වැටෙයි; එහෙත් ධර්මිෂ්ඨයා අමු කොළයක් මෙන් සශ්‍රීක වෙයි.

29සිය පවුල අවුල් කරන්නාට හුළං බොන්න වෙයි; මෝඩයා පැණවතා හට වහලෙකු වනු ඇත.

30ධර්මිෂ්ඨයා ජීවන වෘක්ෂයක් මෙන් පල දරයි; එහෙත් සැහැසි අයට එය නැති වී යයි.

31 බලන්න, ධර්මිෂ්ඨයා මොලොව දී හොඳ ප්‍රතිඵල ලබයි; ඊට කොතරම් වැඩියෙන් දුෂ්ටයා හා පාපිෂ්ඨයා දුර්විපාක නොලබත් ද?

>