1අවවාදය පිළිගන්නා දැනුමට පෙම් කරන්නෙකි; එහෙත් තරවටුව නොඉවසන්නා මෝඩයෙකි.
2සත්පුරුෂයා සමිඳුන්ගෙන් ප්‍රසාදය ලබයි; එහෙත් දුෂ්ට උපා යොදන්නා එතුමාණෝ වරදට පත් කරන සේක.
3දුෂ්ටකමින් මිනිසෙකුට ස්ථිර ජීවිතයක් නැත; එහෙත් දැහැමියාගේ ගුණ කිසිදා මුලින් උදුරාදැමිය නොහැකි ය.
4ගුණසම්පන්න වනිතාව ඇගේ ස්වාමි පුරුෂයාට කිරුළකි; එහෙත් ඔහුට අවමන් ගෙන දෙන කාන්තාව ඔහුගේ ඇටකටුවලට පිළිකාවකි.
5දැහැමියන්ගේ අදහස් යුක්ති සහගත ය; දුෂ්ටයන්ගේ කුමන්ත්‍රණ වංචනික ය.
6දුෂ්ටයන්ගේ වචන මරණ උගුලකි; එහෙත් අවංක අයගේ බස් ගැළවීමකි.
7දුෂ්ටයෝ වැටී නැත්තට ම නැති වෙති; එහෙත් දැහැමියන්ගේ පරපුර සදහට ම පවතියි.
8මිනිසෙකුගේ ප්‍රඥාවේ තරමට ඔහු කීර්තිය ලබයි; එහෙත් වංක සිත අපකීර්තියට ලක් වෙයි.
9පුහු මානය සොයමින් කුසගින්නෙන් පෙළීමට වඩා චාම් ගතියෙන් ජීවිකාව ගෙන යෑම යෙහෙකි.
10දැහැමි අය සිය තිරිසන් සතුන්ගේ ප්‍රාණය ගැන සලකති; අදමිටු අය උන්ට ක්‍රෑරතර ය.
11වැර වීරියෙන් වගා කරන්නාට බතබුලත බහුල ය; නිෂ්ඵල ව්‍යාපාරවල යෙදෙන්නා මෝඩයෙකි.
12දුෂ්ටයාගේ බලකොටුව මැටි පවුරක් මෙන් බිඳ වැටෙයි; එහෙත් දැහැමියන්ගේ පදනම් සදහට ම පවතියි.
13දුෂ්ටයාගේ මුසා බස් ඔහුට ම මලපතක් වෙයි; එහෙත් ධර්මිෂ්ඨයා විපතෙන් ජය ගනියි.
14එක් මිනිසෙක් සිය වදනින් සඵලවත් වෙයි; තව මිනිසෙක් තම ශ්‍රමයෙන් ප්‍රතිඵල ලබාගනියි.
15අනුවණයා තමා හරි යයි සැම විට ම සිතාගනියි; නුවණැත්තා ඔවා බසට සවන් දෙයි.
16මෝඩයා සිය කෝපය වහා පෙන්වයි; බුද්ධිමතා අපහාසය නොතකා හරියි.
17ඇත්ත කියන්නා සත්‍යය දක්වයි; බොරු සාක්ෂිකරු වංචාව ද දක්වයි.
18කේලාම් බස් කඩුපතක් මෙන් තුවාළ කරයි; නැණවතාගේ බස් සුව සෙත ගෙන දෙයි.
19ඇත්ත කියන කට සදහට ම ස්ථිර ව ඇත; බොරු කියන දිව එක මොහොතකට පමණි.
20නපුරට මාන බලන්නාගේ සිතෙහි වංචාව ඇත; සාම සම්මන්ත්‍රණ කරන්නන්ට ප්‍රීතිය ඇත.
21දැහැමි අයට කිසිදු අනතුරක් සිදු නොවේ ම ය; දුෂ්ටයන්ට සතර දිගින් විපත ගලා එයි.
22බොරුකාර තොල් සමිඳුන් හට පිළිකුලකි; අවංක අය සමිඳුන් හට ප්‍රියමනාප ය.
23බුද්ධිමතා තම දැනුම ගැන පුරසාරම් නොදොඩයි; අනුවණයෝ තම අනුවණකම් පතුරුවා හරිති.
24කාර්යක්ෂම අත රට පාලනය කරයි; අලසයෝ වහල් සේවයට යට වෙති.
25සිත්තැවුල මිනිස් සිතට පීඩා කරයි. කාරුණික වචනය සිතට ප්‍රීතිය දෙයි.
26ධර්මිෂ්ඨයා සිය අසල්වැසියා හට මඟපෙන්වයි; දුෂ්ටයන්ගේ මාර්ගය ඔවුන් මුළා කරයි.
27අලසයා දඩයමේ ගියත් කෑමට මස් නොලබයි; එහෙත් කඩිසර මිනිසා සාර අස්වැන්නක් ලබයි.
28දැහැමි මාවතෙහි ජීවනය ඇත; අදමිටු මඟෙහි මරණය ඇත.