හිතෝපදේශ 13:1-25 SINRV2006 - Bible AI

1පැණවත් පුතා පියාගේ අවවාදයට සවන් දෙයි; උඩඟු මිනිසා තරවටුව නොසලකයි.

2සුදනෝ සිය වදනින් යසඉසුරු වළඳති; කපටියෝ අපරාධය ම සොයා යති.

3දිව රැකගන්නා දිවි රැකගනියි; දොඩමළුවා විනාශයට පැමිණෙයි.

4අලස අය ආසා වුවත් කිසිත් නොලබති; ක්‍රියාශීලී අය සව් සැපත ම භුක්ති විඳිති.

5දැහැමියා මුසාවාද පිළිකුල් කරයි; දුදන බස තුච්ඡ ය, වංචනික ය.

6දමිටුකම සුදනන්ට ආරක්ෂාව දෙයි; අදමිටුකම දුදනන් ප්‍රපාතයට හෙළයි.

7පොහොසත් යයි පෙන්වතත් ඇතැමෙක් දුප්පත් ය; දුප්පත් යයි පෙන්වතත් ඇතැමෙක් පොහොසත් ය.

8ධනවතා සිය ධනය ගෙවා දිවි බේරාගත යුතුයි; දිළිඳාට එවැනි තර්ජනයක් නැත.

9දමිටුන්ගේ එළිය දීප්තිමත් ව බබළයි; එහෙත් අදමිටුන්ගේ පහන නිවීගෙන යයි.

10උඩඟුකම වාද විවාද ඇති කරයි; ඔවා බස් පිළිගන්නන් වෙත ප්‍රඥාව ඇත.

11නිරායාසයෙන් ලබන සම්පත වහා නැති වී යයි; වැර වීරියෙන් ලබන වස්තුව තව තව වැඩි වෙයි.

12පැතූ දෙය පමා වීමෙන් සිත කලකිරෙයි; පැතුම ඉටු වීම ජීවන වෘක්ෂයකි.

13ඔවා බස් නොතැකීම කරදරයට පාර කැපීමකි; ඔවා බස් තැකීම වාසනාව ගෙන එයි.

14පැණවතාගේ උපදෙස් ජීවන උල්පතකි; එය මරණයේ මලපත්වලින් ඔබ මුදයි.

15හොඳ නැණනුවණ නිසා කරුණාව ලැබෙයි; ද්‍රෝහීන්ගේ මාර්ගය විනාශය බලා යයි.

16බුද්ධිමතා හිතාමතා ක්‍රියා කරයි; අඥානයා සිය අනුවණකම ගැන පාරට්ටු කරයි.

17අදක්ෂ නියෝජිතයා නිසා රට කරදරයට පත්වෙයි; එහෙත් විශ්වාසී තානාපතියා දියුණුව ගෙන දෙයි.

18අවවාද නොපිළිගන්නා හට දිළිඳුකම හා නින්දාව ඇත; උපදෙස් පිළිගන්නා හට ගෞරවය ඇත.

19මන දොළ සපුරාගැන්ම මිනිසාට සුමිහිරි ය. නපුරෙන් ඈත් වීම අනුවණයන්ට අමිහිරි ය.

20නැණවතුන් ඇසුරු කරන්න, ඔබත් නැණවත් වනු ඇත; අනුවණයන් ඇසුරු කරන්න, ඔබ විනාශ වනු ඇත.

21විපත පවිටුන් ලුහුබැඳ එයි; සැපත දමිටුන්ගේ විපාකය වෙයි.

22සුදනන්ගේ වස්තුව සිය පරපුරට උරුම වෙයි: දුදනන්ගේ වස්තුව සුදනන්ට හිමි වෙයි.

23වගා නොකළ කෙත්වල දිළිඳුන්ට කෑම තිබිය හැකි ය, එහෙත් අයුක්තිය නිසා ඒවා පවා රැස් කරගැනීමට ඉඩක් නැත.

24වේවැල නොගන්න පියා පුතාට සතුරෙකි; වේවැල ගන්න පියා පුතාට මිතුරෙකි.

25දමිටු අයට කෑම හිඟයක් නැත; අදමිටු අයට කවදත් කුසගිනි ඇත.

>