2මිනිසෙකුට තමන් කරන කොයි දෙයත් හරි යයි පෙනේ, එහෙත් සමිඳාණෝ මිනිස් හදවත කිරා බලන සේක.
3දැහැමිකම හා යුක්තිය ඉටු කරන්න, එය පුද පඬුරුවලට වඩා සමිඳුන්ට ප්‍රසන්න ය.
4උඩඟු බැල්ම ද අහංකාර සිත ද යන මේ පව් දුදනන්ගේ චරිත ලක්ෂණ වේ.
5හිතා මතා, ක්‍රියාශීලී ව වැඩ කරන මිනිසාට සමෘද්ධිය නියත ය; ඉක්මන්කාර මිනිසාට දිළිඳුකම සිකුරු ය.
6වංචාවෙන් පොහොසත් වන මිනිසාගේ වස්තුව මීදුමක් මෙන් පහ ව යයි, ඔහු මරණයේ මලපත්වල ද පැටලේ.
7යුක්තිය කරන්න අකමැති නිසා දුෂ්ටයෝ තමන්ගේ ම අපරාධවලින් වැනසෙති.
8වරදකරුවන්ගේ මඟ ඇද ය; නිදොස් අයගේ ක්‍රියා කෙළින් ය.
9කලහකාරී බිරිඳක සමඟ ගෙදර විසීමට වඩා අටුවේ මුල්ලක විසීම හොඳ ය.
10දුදනන්ගේ සිත නැමෙන්නේ නපුරට ම ය; ඔවුන්ගෙන් කිසිවෙකුට කරුණාවක් නැත.
11උඩඟු මිනිසාට තළන්න, එවිට නූගතා ගුරුකම් ලබයි. නැණවතාට ඔවා බස් දෙන්න, එවිට ඔහු වැඩියෙනුත් දැනුම ලබයි.
12දැහැමි දෙවිඳාණෝ දුදනන්ගේ පරපුර අවසන් කරන සේක; දුදනන් විනාශ කර දමන සේක.
13දිළිඳා මොරගසන කල, සවන් නොදෙන්නාගේ කන්නලව්වට සවන් දෙන කෙනෙක් නැත.
14රහසින් දෙන තිළිණය කෝපය සංසිඳුවයි; හොරෙන් දෙන අල්ලස කෝපාග්නිය නිවයි.
15යුක්තිය ඉටු වන විට සුදනන්ට සතුට ද දුදනන්ට විපත ද පැමිණේ.
16ප්‍රඥා මාවතෙන් මුළා ව යන මිනිසා මළවුන්ගේ ලෝකයෙහි වසයි.
17සැප සෙල්ලමට ඇලුම් වන්නා හිඟමනට බසියි; මත්පැනට හා සැප දිවියට ඇලුම් වන්නා කිසි කලෙක පොහොසත් නොවෙයි.
18දුදනන් සුදනන් හට දෙන වද දුදනන් පිටට ම ආපසු පැමිණෙයි.
19බැණ වදින, දබරකාරී බිරිඳක සමඟ විසීමට වඩා මරු කතරක තනියම විසීම හොඳ ය.
20නැණවතාගේ නිවෙස සැපසම්පතින් පිරී ඇත. එහෙත් අනුවණයා නාස්තිකාරයෙකි.
21දැහැමි, කාරුණික ජීවිතයක් ගත කරන්න; එවිට ඔබ ජීවනය ද යුක්තිය ද ගෞරවය ද ලබන්නෙහි ය.
22උපායෙහි දක්ෂ සෙනෙවියා අවි ගත් බළ සෙබළුන් රකින නුවරකට නගියි. ඔවුන් විශ්වාසය තැබූ කොටු පවුරු බිඳ හෙළයි.
23විපතට නොවැටී සුරැකි ව ඉන්න නම් කට රැකගන්න.
24ගර්විත උඩඟු මිනිසාගේ නම ‘ගරහන්නා’ යනුයි. ඔහු උද්ධච්ඡ ව අහංකාරයෙන් ක්‍රියා කරයි.
25දෑත වෙහෙසා වැඩ නොකරන අලසයා ඔහුගේ ම මරණයට මඟ පාදයි.
26දවස පුරා ඔහු ආශා වන දෙය ඔහුට ලැබෙන්නේ නැත; එහෙත් දැහැමි මිනිසා දෙයි, නොමසුරු ව ම දෙයි.
27දුදනන් පුදන යාග පූජා සමිඳුන්ට පිළිකුලකි, වැරදි චේතනාවෙන් පුදන විට වැඩියෙනුත් පිළිකුලකි.
28බොරු සාක්කිකරු වැනසී යයි; සාවධාන ව සවන් දෙන්නාගේ වදන් සුරැකී පවතියි.
29දුෂ්ටයා කපටි මුහුණක් පෙන්වයි; අවංක මිනිසා තමා යන මඟ ගැන කල්පනාකාරී වෙයි.
30ප්‍රඥාව, තීක්ෂණ ඥානය, අනුශාසනය, සමිඳුන්ට විරුද්ධ නම්, මේවායින් වැඩක් නැත.
31යුද බිමෙහි අශ්ව සේනාව සැරසී සිටියත්, ජයශ්‍රීය එන්නේ සමිඳුන්ගෙනි.