හිතෝපදේශ 6:1-35 SINRV2006 - Bible AI

1මාගේ පුත්‍රය, ඔබ මිතුරෙකුට ඇප වී, අන් අයෙකු උදෙසා අත්තිකාරමක් දී,

2ඔබේ වචනවලට අසු වී, ඔබේ පොරොන්දුවලට මැදි වී සිටින්නෙහි ද?

3මාගේ පුත්‍රය, එසේ අසු වී සිටින්නෙහි නම්, මා කියන දේ කර ගැළවී යන්න; ඔබ ගොස්, ඔහුගේ දෙපා ළඟ වැටී පෙරැත්ත කරන්න.

4නිදි නොගෙන, කිරා නොවැටී,

5දඩයක්කාරයෙකු අතින් පැන දුවන තිත් මුවෙකු මෙන් ද උගුලක් ඇටවූ වැද්දෙකු අතින් ඉගිළී යන කුරුල්ලෙකු මෙන් ගැළවී යන්න.

6අලසය, කුහුඹුවා වෙත ගොස් උගේ ගතිපැවතුම් බලා නැණවත් වන්න.

7ඌට නායකයෙක් නැත, මුලාදෑනියෙක් නැත, පාලකයෙක් නැත.

8එහෙත් ඌ ගිම්හානයේ දී ආහාර සපයා ගනියි; ගොයම් කපන සමයේ දී කෑම රැස් කර තබයි.

9අලසය, ඔබ කොපමණ කල් නිදාගන්නෙහි ද? නින්දෙන් අවදි වන්නේ කොයි වේලාවෙහි ද?

10‘තව ටිකක් නිදාගනිමි, තව ඇබිත්තක් සැතපෙමි, තව මඳක් අත් දෙක බැඳගනිමි’යි කියන ඔබ වෙතට,

11දිළිඳුකම, සොරෙකු මෙන් ද හිඟකම, අවිගත් සෙබළෙකු මෙන් ද එනු ඇත.

12සටකපට බස් දොඩමින් ඇවිදින, තැනැත්තේ දුදනෙකි, තක්කඩියෙකි.

13ඔහු සිය දෙනෙතින් ඉඟි කරයි, දෙපයෙන් හැඟුම් දක්වයි, ඇඟිලිවලින් සංඥා කරයි.

14ඔහුගේ සිත සටකපට ව ඇත, ඔහු නිතර ම නපුරට කුමන්ත්‍රණය කොට, වාද භේද පතුරුවාලයි.

15එබැවින් ඔහුගේ නැස්පැත්තිය හදිසියෙන් එයි, ගැළවීමට මඟක් නැති ව, මොහොතකින් ඔහු සුණු වී යයි.

16සමිඳාණන් නුරුස්සන කරුණු සයකි, එතුමන්ට පිළිකුල් කරුණු සතකි.

17අහංකාර ඇස් ද බොරුකාර දිව ද නිදොස් ලේ වගුරුවන අත් ද

18දුෂ්ට උපා යොදන සිත ද නපුරට වහා දුව යන පා ද මුසා බස් තෙපලන බොරු සාක්කිකරු ද

19මිතුරන් අතර වාද භේද අවුස්සන අය ද වෙත්.

20මාගේ පුත්‍රය, ඔබේ පියාගේ අනුශාසනා පිළිපදින්න; මවගේ උපදෙස් අත් නොහරින්න.

21ඒවා නිරතුරු ඔබේ සිත්හි නිදන් කොට, මාලයක් මෙන්, ගෙල වටා බැඳගන්න.

22ඔබ යන එන විට ඒවා මඟ පෙන්වයි; ඔබ නිදන විට රැකවල් කරයි; ඔබ අවදි වන විට අවවාද දෙයි.

23අනුශාසනාව ඔබට පහනකි, උවදෙස් ඔබට එළියකි, ගුරූපදේශ ඔබට ජීවන මඟකි.

24නරක ගැහැණියකගෙන් ද ඉච්චා බස් දොඩන අන් අඹුවන්ගෙන් ද ඒවා ඔබ රැකගනියි.

25ඇගේ රුවට සිතින් ඇදී නොයන්න; ඇගේ නුවන’ග බැල්මෙන් ඈ ඔබ වසඟ කර නොගනී වා.

26වෙසඟනක පතන්නේ පාන් ගෙඩියක මිල පමණකි; පර අඹුවක සොයන්නේ මුළු ජීවිතයකි.

27ගිනිදැල් තුරුලු කර ගතහොත්, මිනිසෙකුගේ ඇඳුම් නොපිළිස්සේ ද?

28ගිනි අඟුරු මත ඇවිද්දොත්, ඔහුගේ දෙපා නොදැවේ ද?

29සිය අසල්වැසියාගේ බිරිඳ වෙත එළඹෙන අයට එසේ වේ. ඇයට අත තබන කිසිවෙක් දඬුවම් නොලැබ නොසිටියි.

30සොරෙකු සිය සාගින්න නිවාගනු වස් සොරකම් කළත් මිනිස්සු ඔහු වරදින් නිදහස් නොකරති.

31ඔහු අසුවුණොත් සත් ගුණයක් වන්දි ගෙවීමට සිදු වෙයි; සිය නිවසෙහි මුළු වත්කම ද දෙන්නට වෙයි.

32පරදාර සේවනය කරන්නා අනුවණයෙකි; ඔහු තම ජීවිතය නාස්ති කරගන්නෙකි.

33උවදුරු හා අවනම්බුව ඔහුට හිමි වෙයි; ඔහුගේ නින්දාව නොමැකී පවතියි.

34මන්ද, කාම ක්‍රෝධය සැමියෙකු උදහස් කරලයි; පළිගන්න දවසේ දී ඔහුගෙන් සමාවක් නැත.

35ඔහු කිසි වන්දි මුදලක් නොපිළිගනු ඇත; කොතරම් තෑගි පිරිනැමුවත් ඔහු සතුටු නොවනු ඇත.