හොසියා 1:1-11 SINRV2006 - Bible AI

1උශ්ශියා, ජෝතාම්, ආහාස් සහ හෙසකියා පිළිවෙළින් ජුදාහි රජවරුන් වූ කාලයේ දී ද ජෝවාෂ්ගේ පුත් ජෙරොබෝවම් ඉශ්රායෙල්හි රජ ව සිටි කාලයේ දී ද බෙයේරිගේ පුත් හොසියාට සමිඳාණන් වහන්සේ දුන් පණිවුඩය මෙසේ ය:

2සමිඳාණන් වහන්සේ හොසියා මඟින් පළමු වරට ඉශ්රායෙල් සෙනඟට කතා කළ විට මෙසේ වදාළ සේක: “නුඹ ගොස් වෙසඟනක විවාහ කරගෙන ඇගේ වේශ්‍යාකමින් දරුපල ලබාගන්න. මන්ද, මේ රට සමිඳාණන් වහන්සේ කෙරෙන් වෙන්‍ වී යාමෙන් වෙසඟනකට සමාන වී ඇත.”

3එවිට, හොසියා ගොස්, දිබ්ලයිම්ගේ දුව වූ ගොමෙර් සරණ පාවා ගත්තේ ය. ඈ ඔහුට දාව ගැබ්ගෙන දරුවෙකු ලැබුවා ය.

4සමිඳාණන් වහන්සේ හොසියාට කතා කොට, “ඔහුට ‘දෙවියන් වහන්සේ වපුරන සේක’ යන අර්ථය ඇති ‘ ජෙශ්‍රෙයෙල්’ යන නම තබන්න. මන්ද, නොබෝ කලකින් ජෙශ්‍රෙයෙල්හි කරන ලද ලේ වැගිරීම්වලට ජේහුගේ වංශයට දඬුවම් කොට, මම ඉශ්රායෙල් වංශයේ රාජ්‍යය නැති කරන්නෙමි.

5තවද, ඒ දවසේ දී ඉශ්රායෙලයේ යුද්ධ බලය මම ජෙශ්‍රෙයෙල් මිටියාවතේ දී බිඳදමන්නෙමි”යි වදාළ සේක.

6යළිත් ගොමෙර් ගැබ්ගෙන දුවක ලැබුවා ය. සමිඳාණන් වහන්සේ හොසියාට කතා කොට, “ඈට ‘අනුකම්පා නොලද්දී’ යන අර්ථය ඇති ‘ලෝ-රුහාමා’ යන නම තබන්න. මන්ද, මා නැවත කිසි කලෙක ඉශ්රායෙල් වංශයට කරුණාව දක්වන්නේ වත්, කමා කරන්නේ වත් නැත.

7එහෙත්, මම ජුදා වංශයට අනුකම්පා කරමි. ඔවුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ වන මම ඔවුන් ගළවන්නෙමි. එසේ කරන්නේ දුන්නෙන් වත්, කඩුවෙන්‍ වත්, යුද්ධයෙන් වත්, අශ්වයන්ගෙන් හෝ අසරුවන්ගෙන් වත් නොවේ ය”යි වදාළ සේක.

8ලෝ-රුහාමා කිරි වැරෙව්වායින් පසු ගොමෙර් ගැබ්ගෙන තවත් පුතෙකු ලැබුවා ය.

9“ඔහුට ‘මාගේ සෙනඟ නොවේ’ යන අර්ථය ඇති ‘ලෝ-අම්මී’ යන නම තබන්න. මන්ද, නුඹලා මාගේ සෙනඟ නොවන්නහු ය. මමත් නුඹලාගේ දෙවියන් වහන්සේ නොවෙමි”යි සමිඳාණන් වහන්සේ වදාළ සේක.

10“එහෙත්, ඉශ්රායෙල් ජනයා මුහුදේ වැලි මෙන් ගිණිය නොහැකි, මැනිය නොහැකි තරම් විශාල සංබ්‍යාවක් වන්නෝ ය. ‘නුඹලා මාගේ සෙනඟ නොවන්නහු ය’යි කියනු ලැබූ ස්ථානයේ දී ම, ‘නුඹලා ජීවමාන දෙවියන් වහන්සේගේ දරුවෝ ය’යි කියනු ලබන දවස පැමිණෙන්නේ ය.

11ජුදා ද ඉශ්රායෙල් සෙනඟ ද එක්රැස් වී යළිත් එක ම නායකයෙකු පත් කර ගන්නෝ ය. ඔව්හු නැවත වර්ධනය වී සඵලවත් වන්නෝ ය.

Ceylon Bible Society
div>