හොසියා 12:1-14 SINRV2006 - Bible AI

1එප්‍රායිම් පෙරදිග සුළඟ පස්සේ දුවමින් එයින් වාසි ගැනීමට මාන බලති. බොරුව ද අපරාධය ද ඔවුන් අතර අධික වී ඇත. ඔව්හු අසිරියාව සමඟ ගිවිසුම් ද මිසර දේශය සමඟ තෙල් ගනු දෙනු ද කරගනිති.”

2 ජුදාහි සෙනඟට විරුද්ධ ව සමිඳාණන් වහන්සේට පැමිණිල්ලක් ඇත. තවද, උන් වහන්සේ ජාකොබ් සෙනඟගේ හැසිරීමට නිසි දඬුවම දෙන සේක. ඔවුන්ගේ ක්‍රියාවලට නිසි විපාකය දෙන සේක.

3මවු කුසයේ සිටිය දී ම ජාකොබ් සිය සහෝදරයා රැවටුවේ ය. ඔහු වැඩිහිටියෙකු වූ විට දෙවියන් වහන්සේට විරුද්ධ ව පොරබැදුවේ ය.

4ඔහු දේව දූතයෙකු සමඟ පොරබදා ජයගත්තේ ය. ඔහු හඬා ආශීර්වාදයක් ඉල්ලුවේ ය. උන් වහන්සේ ඔහුට සම්බ විය. උන් වහන්සේ බෙතෙල්හි දී ඔහු සමඟ කතා කළ සේක.

5මම වනාහි සියලු බලැති දෙවි සමිඳාණන් වහන්සේ ය. උන් වහන්සේගේ නාමය සමිඳාණන් වහන්සේ ය.

6එබැවින් නුඹලා දෙවියන් වහන්සේ වෙත හැරී, ප්‍රේමයෙන්, යුක්තිගරුක ව උන් වහන්සේ කෙරෙහි නිරන්තර බලාපොරොත්තුවෙන්‍ සිටින්න.

7ඉශ්රායෙල් සෙනඟ කානානි ජාතික වෙළෙන්දන් මෙන් හොර තරාදි ඇති ව අනුන් රැවටීමට ප්‍රිය වෙති.

8එසේ වුව ද, “අපි ධනවත් ය; වස්තු සම්භාර රැස් කරගෙන සිටිමු; ‘වංචාවෙන් ඔව්හු පොහොසත් වූ හ’යි අපට චෝදනා කරන්නට කිසිවෙකුට බැරි ය”යි එප්‍රායිම් සෙනඟ කියති.

9මිසර දේශයෙන් ගෙනා දා සිට නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම ය. පාළුකරයේ දී මෙන් නුඹලා කූඩාරම්වල ජීවත් වුණා සේ ම ඉදිරියටත් නුඹලා කූඩාරම්වල වාසය කරවන්නෙමි.

10ඇරත් මම දිවැසිවරයන්ට කතා කොට, “මම ම බොහෝ දර්ශන පෙන්වා දිවැසිවරුන් මඟින් උපමා භාවිතා කෙළෙමි.

11ගිලියද්හි ඔවුන් අයුතුකම් කර ඇත. ඔව්හු සහමුලින් ම නිෂ්ඵල ය. ඔව්හු ගිලියද්හි ගොනුන් පූජා කරති. එසේ ය, ඔවුන්ගේ පූජාසන ද කෙතේ හීවිටි මත තිබෙන ගල් ගොඩවල් වැනි ය.”

12ජාකොබ්ට මෙසොපොතේමියාවට පලා යන්නට සිදු විය. එහි දී භාර්යාවක ලබාගන්න පිණිස සේවය කරමින් බැටළුවන් බලාගත්තේ ය.

13සමිඳාණන් වහන්සේ දිවැසිවරයෙකු ලවා මිසර දේශයෙන් ඉශ්රායෙල් මුදාගත් සේක. දිවැසිවරයෙකු ලවා ඔවුන් ආරක්ෂා කළ සේක.

14එප්‍රායිම් සෙනඟ දෙවියන් වහන්සේ තදින් කෝප කරවා ඇත. එබැවින් ඔවුන්ගේ අපරාධවලට ඔවුන්ට මරණ දඬුවම දෙනු ඇත. උන් වහන්සේට කර ඇති නින්දාව, උන් වහන්සේ ඔවුන් පිට ම පවරන සේක.

Ceylon Bible Society
/div>