2“දරුවෙනි, නුඹලාගේ මවුට කන්නලව් කරන්න; කන්නලව් කරන්න. ඈ මාගේ බිරිඳ නොවන්නී ද? මම ඇගේ පුරුෂයා නොවෙම් ද? ඇගේ ගණිකා බැල්ම ද තුරුල්ලට ගත් පෙම්වතුන් ද පහකරන්නැ යි ඈට කියන්න.
3එසේ නොකළොත් මම ඇය නිරුවත් කරමි; උපන් දා මෙන් නග්න කරමි. නිසරු මරුකතරක් මෙන් ද වියළුණු පාළුකරයක් මෙන් ද වෙන්නට සලස්වන්නෙමි. ඇය පිපාසයෙන් නසන්නෙමි.
4ඇගේ දරුවන්ට ද මම අනුකම්පා නොකරමි. ඔව්හු වේශ්‍යාකමේ දරුපල වෙති.
5ඔවුන්ගේ මව වෙසඟනකි; ඔවුන් වැදූ තැනැත්තී විලිබිය නැත්තියකි. ඈ මෙසේ කියයි: ‘මාගේ පෙම්වතුන් පසුපස මම යමි; ඔව්හු මට කෑම හා බීම ද ලොම් හා හණ ද මාගේ තෙල් හා පානය ද දෙති.’
6එබැවින් ඇගේ මඟ කටුවලින් අසුරන්නෙමි; පාර නොපෙනෙන පරිදි පවුරක් ගොඩනඟන්නෙමි.
7ඈ සිය පෙම්වතුන් පසුපස ගියත්, ඔවුන් වෙත පැමිණෙන්නේ නැත; ඔවුන් සොය සොයා ගියත්, ඔවුන් හමු වන්නේ නැත. එවිට ඈ මෙසේ කියනු ඇත: ‘මම මාගේ පළමු සැමියා වෙත හැරී යමි. මන්ද, අදට වඩා එදා යහපත් ව තිබිණි.’
8ධාන්‍ය ද මිදියුස ද තෙල් ද දුන්නේත්, බාල්ගේ දේව රූප නෙළීමට ගත් රන් රිදී ඈට නොමසුරු ව දුන්නේත් මා බව ඈ දැන සිටියේ නැත.
9එබැවින් අස්වැන්න කාලයේ දී මා ඈට දුන් ධාන්‍යත්, පල නෙළන කාලයේ දී ඈට දුන් මිදියුසත් මම ආපසු ගන්නෙමි. ඇගේ නිරුවත වසාගැනීමට මා දුන් ලොම් හා පිළි ඇගෙන් උදුරා ගන්නෙමි.
10දැන් ඇගේ පෙම්වතුන් බලා සිටිය දී ඇගේ සලෙලුකම මම හෙළි කරන්නෙමි. එවිට මා අතින් ඈ මුදාගැනීමට කිසිවෙකුට නොහැකි වේ.
11ඇගේ හැම විනෝදයක් ද මංගල්‍යයන් හා අමාවක් උත්සවයන් ද සබත් දිනයන් හා නියමිත රැස්වීම් ද මම තහනම් කරන්නෙමි.
12ඈ කී පරිදි ඇගේ පෙම්වතුන් කුලියක් වශයෙන් ඈට දුන් මිදි වැල් හා අත්තික්කා ගස් විනාශ කර වන ලැහැබක් කර දමමි. වන මෘගයෝ ඒවා කාදමති.
13ඈ කනකර අබරණ පළඳිමින්, පෙම්වතුන් පසුපස දුවමින්, බාල් දේවතාවන්ට සුවඳ දුම් පුදමින් මා අමතක කළ බැවින් මම ඈට දඬුවම් කරමි. මෙසේ පවසන්නේ සමිඳාණන් ය.”
18එවිට මම ඉශ්රායෙල් සෙනඟ වෙනුවෙන් වන සතුන් ද අහසේ පක්ෂීන් ද බිම බඩගා යන සතුන් ද සමඟ ගිවිසුමක් කරන්නෙමි. මම දුන්න ද කඩුව ද යුද අවි ද දේශයෙන් පහකර දමා, මාගේ සෙනඟ සුව සේ විසීමට සලස්වන්නෙමි.
19එම්බා ඉශ්රායෙල් දේශය, මම නුඹ සදහට ම සරණ පාවා ගතිමි. දැහැමින් හා යුක්තියෙන්, ස්ථිර ප්‍රේමයෙන් හා අනුකම්පාවෙන් මම නුඹ සරණ පාවා ගතිමි.
20විශ්වාසයෙන් නුඹ සරණ පාවා ගතිමි. එවිට මා සමිඳාණන් වහන්සේ බව නුඹ හැඳිනගන්නෙහි ය.
21ඒ කාලයේ දී මම මාගේ සෙනඟගේ යැදුම්වලට පිළිතුරු දෙන්නෙමි. මම අහසින් පොළොවට වැසි වස්වන්නෙමි.
22ධාන්‍ය ද මිදි ද ඔලීව ද පොළොවේ හටගන්නේ ය. එවිට ඉශ්රායෙල් සරුසාර වන්නේ ය.
23ⓔමාගේ සෙනඟ දේශයේ ස්ථිර කොට පිහිටුවා වර්ධනය කරන්නෙමි. ‘ලෝ-රුහාමා’යි කී සෙනඟට මම අනුකම්පාව දක්වන්නෙමි. ‘ලෝ-අම්මී’යි කී ජනයාට ‘නුඹලා මාගේ සෙනඟ ය’ කියා කියන්නෙමි. ඔව්හු පිළිතුරු දෙමින්, ‘ඔබ අපගේ දෙවියන් වහන්සේ ය’යි කියන්නෝ ය.”