1 තිමෝති 6:1-21 SINRV2006 - Bible AI

1වහල්කමට බැඳී සිටින සියලු දාසයෝ තම ස්වාමිවරුන්ට නිසි ගෞරවය දැක්විය යුත්තෝ ය. එසේ නොකළොත් දෙවියන් වහන්සේගේ නාමයටත් ඉගැන්වීමටත් අපහාස ඇති වෙයි.

2කිතුනු ස්වාමිවරුන් ඇති දාසයෝ, ඔවුන් දෙගොල්ල ම සහෝදරයන් වන නිසා, තම ස්වාමිවරුන් සුළු කොට නොසැලකිය යුත්තෝ ය. එසේ නොකර, තමන්ගේ වැඩවලින් ප්‍රයෝජන ලබන ස්වාමිවරුන්ට ඔවුන් වඩාත් හොඳින් සේවය කළ යුතු ය. කවර හෙයින් ද? ඔවුන් ද තමන් ප්‍රේම කරන කිතුනුවන් වන බැවිනි. ඔබේ ඉගැන්වීම් වල දී මේ කාරණා තරයේ කියන්න.

3යමෙක් වෙනස් ධර්මයක් උගන්වමින්, අපගේ වැඩදායක ධර්මය වන, අපේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වචනවලටත්, විශ්වාසවන්ත ඉගැන්වීමටත් විරුද්ධ ව යන්නේ නම්, ඔහු අඥානයෙකි;

4උඩඟුකමින් පිරුණු තැනැත්තෙකි; ඔහු සෑම දේ ගැන සැක කිරීමෙන් ද, වචන ගැන ප්‍රශ්න කිරීමෙන් ද උමතු වූවෙකි. එයින් ඊර්ෂ්‍යාව ද කලහ ද අපහාසය ද කූට අවිශ්වාසය ද

5මිථ්‍යා අදහස් ඇති, සත්‍යය නොදන්න, දේව භක්තිය ලාභයට මඟකැ යි සිතන මිනිසුන්ගෙන් කෙළවරක් නැති වාද විවාද ද උපදින්නේ ය.

6ලද පමණින් සතුටු වීම සහිත දේව භක්තිය මහත් ලාභයකි.

7අප මෙලොවට පැමිණියේ හිස් අතිනි. හිස් අතින් එය හැර යන්නට ද ඕනෑ ය.

8කන්නට අඳින්නට ඇත්නම්, අපට සෑහෙයි.

9ධනවත් වීමට ආශා වන්නෝ පරීක්ෂාවලටත්, උගුල්වලටත්, අසු වන්නෝ ය. නාස්තියටත්, විනාශයටත් පමුණුවන, නොයෙකුත් මෝඩ නිෂ්ඵල තෘෂ්ණාවන්ට ඔව්හු වසඟ වන්නෝ ය.

10මුදල් තණ්හාව සැම නපුරට මුල ය. සමහරු මුදලට ආලය වී, ඇදහිල්ලෙන් වැටී, තමන්ට ම බොහෝ දරුණු ලෙස තුවාළ කරගත්හ.

11එහෙත් දෙවියන් වහන්සේට කැපවූවකු වන ඔබ, මේ දේවලින් වැළකී සිටිය යුතු ය. දමිටුකමට ද භක්තිවන්තකමට ද ඇදහිල්ලට ද ප්‍රේමයට ද ඉවසිලිවන්තකමට ද ශාන්තදාන්තකමට ද, අවධානය යොමු කරන්න.

12ඇදහිල්ල නමැති මහා ධාවනය වීර්යයෙන් දුවන්න. සදාතන ජීවනය අත් කරගන්න. ඔබ එයට කැඳවනු ලැබූයේ සාක්ෂිකාරයන් කීප දෙනෙකු ඉදිරියෙහි ඔබේ ඇදහීම නිර්භීත ලෙස සහතික කොට ප්‍රකාශ කළ විට ය.

13සකල ජීවයට උල්පත වූ දෙවියන් වහන්සේ ද, පොන්තියුස් පිලාත් ඉදිරියෙහි ඇදහීම නිර්භීත ලෙස ප්‍රකාශ කළ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ ද අබිමුවෙහි මා ඔබට භාර දෙන කටයුත්ත මෙය යි:

14අපේ ස්වාමීන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ ආගමනය තෙක් මේ ආඥාව කිසි ම දෝෂයක් හෝ කැළලක් හෝ නැති ව පිළිපදින්න.

15දෙවියන් වහන්සේ එම ආගමනය නියමිත කාලයේ දී එළිදරව් කරන සේක. උන් වහන්සේ වනාහි භාග්‍යවත්, අසහාය අධිපති, රාජාති රාජ, ස්වාමිවරුන්ගේ ස්වාමීන් වන තැනැන් වහන්සේ ය.

16උන් වහන්සේ පමණක් අමරණීය ය. කිසිවෙකුට ළඟා විය නොහැකි ආලෝකයෙහි උන් වහන්සේ වසන සේක. කිසිවෙක් කිසි කලෙක උන් වහන්සේ දැක නැත; දකින්නටත් බැරි ය. උන් වහන්සේට ගෞරවයත්, සදාතන පරාක්‍රමයත් වේ වා! ආමෙන්.

17උඩඟු නොවී, අස්ථිර ධනය කෙරෙහි නොව, සියල්ල අපට භුක්ති විඳීමට දෙන දෙවියන් වහන්සේ කෙරෙහි බලාපොරොත්තු තබන ලෙස මේ ලෝකයේ ධනවතුන්ට, අවවාද කරන්න.

18ඔවුන් දැහැමි ක්‍රියාවල යෙදී සිටින ලෙස ද දැහැමි ක්‍රියාවලින් ධනවත් වන ලෙස ද, සියල්ල අනුන් හා සමඟ ත්‍යාගශීලී ව බෙදාගැනීමට ළැදි වන ලෙස ද අවවාද කරන්න.

19මෙසේ කිරීමෙන් ඔව්හු අනාගතය සඳහා ස්ථිර පදනමක් වන ධන සම්භාරයක් රැස් කරගන්නෝ ය. එවිට ඔව්හු නියම සැබෑ ජීවනය ලබා ගන්නෝ ය.

20තිමෝතියස්, ඔබට භාර දුන් දෙය ආරක්ෂා කරන්න. දැනුම ලෙස සැලකෙන මිථ්‍යාදෘෂ්ටික අදහස්වලින් ද අර්ථයක් නැති හිස් දෙඩවිලිවලින් ද පරස්පර විරෝධී මතවලින් ද වළකින්න.

21එවැනි සමහරු ඇදහිල්ලෙන් ඈත් ව සිටිති.

21ඔබ හැමට කරුණාව වේ වා!