1සලමොන් ඔහුගේ පිය රජුට පසු ව රජු වශයෙන් අභිෂේක කරනු ලැබූ බව තීර්හි රජ වූ හීරාම් අසා තමාගේ තානාපතීන් ඔහු වෙත එව්වේ ය. මන්ද, හීරාම් නිතර ම දාවිත් රජුගේ හිතමිතුරෙක් විය.
2සලමොන් රජ ද හීරාම් වෙත පණිවුඩයක් යවමින්,
3“සමිඳාණන් වහන්සේ මාගේ පිය වූ දාවිත්ගේ සතුරන් පරාජය කරන තෙක් හාත්පසින් තිබුණු යුද්ධ නිසා ඔහුගේ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයට මාලිගාවක් ගොඩනඟන්නට ඔහුට බැරි වූ බව ඔබ දන්නෙහි ය.
4එහෙත්, දැන් මාගේ දෙවි සමිඳාණන් වහන්සේ හැම අතින් ම මට විවේකය දී තිබේ. එදිරිකාරයෙක් වත්, විපත්ති ගැන බියක් වත් මට නැත.
5
6එබැවින් ලෙබනොන් දේශයෙන් කිහිරි ගස් කපා මට දෙන්න අණ කළ මැනව. මාගේ වැඩකාරයෝ ඔබේ වැඩකාරයන් සමඟ සිටින්නෝ ය. ඔබේ වැඩකාරයන්ගේ කුලී ඔබ කියන ප්‍රකාරයට ඔබට දෙන්නෙමි. මන්ද, සීදොන් නගරවාසීන් මෙන් ලී කපන්න දන්න අය අප අතර නැති බව ඔබ දන්නෙහි ය”යි කියා යැවී ය.
7හීරාම් රජ සලමොන්ගේ වචනය අසා ඉතා ප්‍රීති වී, “ඒ ශ්‍රේෂ්ඨ ජාතිය ආණ්ඩු කරන පිණිස ප්‍රඥාවන්ත පුත්‍රයෙකු දාවිත්ට දුන් සමිඳාණන් වහන්සේට අද ප්‍රශංසා වේ වා!”යි කීවේ ය.
8තවද, ඔහු සලමොන් වෙත පණිවුඩයක් යවමින්, “ඔබ මට කියා එවූ කාරණය ඇසීමි. කිහිරි ලී ගැන ද දේවදාර ලී ගැන ද ඔබේ මුළු කැමැත්ත ඉෂ්ට කරන්නෙමි.
9මාගේ වැඩකාරයෝ ලෙබනොන් දේශයේ සිට මුහුද ළඟට ඒවා ගෙන එන්නෝ ය. මම ඒවා එක් කොට, පහුරු බඳවා ඔබ මට කියා එවන තැනකට මුහුදෙන් එවන්නෙමි. තවද, ඔබ ඒවා භාරගැනීම පිණිස එහි දී ඒවා ලිහන්න සලස්වන්නෙමි. ඔබ වනාහි මාගේ ගෙයි වැසියන්ට ආහාර දීමෙන් මාගේ කැමැත්ත ඉෂ්ට කරන්නෙහි ය”යි කියා එව්වේ ය.
10මෙසේ හීරාම් රජ සලමොන්ගේ මුළු කැමැත්ත ලෙස කිහිරි ලී ද දේවදාර ලී ද ඔහුට දුන්නේ ය.
11සලමොන් ද හීරාම්ගේ ගෙයි වැසියන්ට ආහාර පිණිස තිරිඟු මෙට්රික් ටොන් දෙදහසක් ද පිරිසිදු තෙල් ලීටර් ලක්ෂ හතරක් ද ඔහුට දුන්නේ ය. සලමොන් අවුරුදුපතා මෙසේ හීරාම්ට දුන්නේ ය.
12සමිඳාණන් වහන්සේ සලමොන්ට පොරොන්දු වූ ලෙස ඔහුට ප්‍රඥාව දුන් සේක; හීරාම් සහ සලමොන් අතරේ සාමදානය පැවතුණේ ය. තවද, ඔව්හු දෙදෙනා එක් ව ගිවිසුමක් කර ගත්තෝ ය.
13සලමොන් රජ සියලු ඉශ්රායෙල්වරුන් අතරෙන් රාජකාරියට මිනිසුන් බඳවාගත්තේ ය. එසේ බඳවාගත් මිනිස්සු තිස්දහසකි.
14
15කඳුවල ගල් කැපීමට අසූදහසක් ද ඒ ගල් උසුලාගෙන යෑමට හැත්තෑදහසක් ද සෙනඟ සලමොන්ට සිටියෝ ය.
16ඒ හැර වැඩ බලාගත්තා වූ, වැඩ කළ සෙනඟ පාලනය කළා වූ සලමොන්ගේ ප්‍රධාන නිලධාරීන්ගේ ගණන තුන්දහස් තුන්සියයක් විය.
17කැපූ ගල්වලින් මාලිගාවේ අත්තිවාරම දමන පිණිස රජුගේ ආඥාව පිට විශාල වූ ද අනර්ඝ වූ ද ගල් ගෙනාවෝ ය.
18සලමොන්ගේ වඩුවෝ ද හීරාම්ගේ වඩුවෝ ද ගෙබලිවරු නම් ජනයා ද ඒවා කැපුවෝ ය. මෙසේ දේව මාලිගාව තැනීමට ඔව්හු ලී දඬු ද ගල් ද සූදානම් කළෝ ය.