1සලමොන් සමිඳාණන් වහන්සේගේ මාලිගාව ද රාජ මාලිගාව ද ගොඩනඟා, තම ආසාව පරිදි සාදන්නට කැමැති වූ සියල්ලත් සාදා නිම කළ විට,
2
3උන් වහන්සේ ඔහුට කතා කොට මෙසේ වදාළ සේක: “නුඹ මා ඉදිරියෙහි ඔප්පු කළ නුඹේ යාච්ඤාවත්, කන්නලව්වත් මම ඇසුවෙමි. නුඹ ගොඩනැඟුවාවූ මේ මාලිගාවෙහි මාගේ නාමය සදහට ම පවතින පිණිස එය විශුද්ධ කෙළෙමි. මාගේ නෙත ද සිත ද නිරන්තරයෙන් මෙයට යොමු වී තිබෙන්‍නේ ය.
4ඉතින්, නුඹේ පිය වූ දාවිත් හැසුරුණ පරිදි නුඹ මා ඉදිරියෙහි සෘජු සිතක් ඇති ව ද අවංක ව ද හැසිරෙමින්, මා නුඹට අණ කළ සියල්ල ප්‍රකාරයට ඉටු කර, මාගේ පණත් ද විනිශ්චයයන් ද පිළිපදින්නෙහි නම්,
5
6එහෙත්, නුඹලා ද නුඹලාගේ දරුවන් ද මා වෙතින් ඉවත් ව ගොස්, මා විසින් නුඹලා ඉදිරියෙහි තබන ලද මාගේ ආඥා හා පණත් නොපවත්වා අන් දෙවිවරුන් වෙත ගොස්, ඔවුන්ට වැඳුම්පිදුම් කර නමස්කාර කළොත්,
7මම ඉශ්රායෙල්වරුන්ට දුන් දේශයෙන් ඔවුන් නෙරපාදමන්නෙමි. මාගේ නාමය සඳහා මා විශුද්ධ කළ මේ මාලිගාවත් මාගේ ඇස් හමුයෙන් පහකර දමන්නෙමි. ඉශ්රායෙල්වරුන් ද සියලු ජාතීන් අතර සමච්චලයක් හා උපහාසයක් වනු ඇත.
8
9එවිට මිනිස්සු උත්තර දෙමින්, ‘ඔවුන් තමන්ගේ පියවරුන් මිසර දේශයෙන් ගෙනා තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ අත්හැර, අන් දෙවිවරුන්ට ඇලුම් ව, ඔවුන්ට නමස්කාර කොට, වැඳුම්පිදුම් කළ නිසා සමිඳාණන් වහන්සේ මේ සියලු විපත් ඔවුන් පිට පැමිණෙවු සේකැ’යි කියන්නෝ ය.”
10සලමොන් රජ සමිඳාණන් වහන්සේගේ මාලිගාව සහ රජ මාලිගාව යන මාලිගා දෙක ගොඩනැඟීමට ගත කළ විසි අවුරුද්දට පසු,
11ඔහු රිසි පරිදි ඔහුට කිහිරි ලී ද දේවදාර ලී ද රත්රන් ද සපයා දුන් තීර්හි හීරාම් රජු හට ගලීල දේශයෙහි නගර විස්සක් දුන්නේ ය.
12හීරාම් ද සලමොන් තමාට දුන් නගර බලන්නට තීර්හි සිට ඇවිත් ඒවා ගැන සතුටු නොවී,
13“මාගේ සහෝදරය, ඔබ මට දුන් මේ නගර මොනවා දැ”යි කියා ඒවාට ‘කාබුල් රට ය’යි නම් තැබුවේ ය. ඒ නම අද දක්වා ම පවතී.
14හීරාම් රන් කිලෝග්‍රෑම් හාරදාහක් රජුට එවී ය.
15සලමොන් රජු රාජකාරියට මිනිසුන් ගත්තේ, සමිඳාණන් වහන්සේගේ මාලිගාව ද තම මාලිගාව ද මිල්ලෝ නම් ස්ථානය ද ජෙරුසලමේ පවුර ද හාශොර්, මෙගිද්දෝ සහ ගෙශෙර් යන නගර ද ගොඩනැඟීම සඳහා ය.
16මිසරයේ රජ වූ පාරාවෝ අවුත් ගෙශෙර් නම් නගරය අල්ලාගෙන, එය ගිනිබත් කොට, ඒ නගරයේ විසූ කානානිවරුන් මරා එය සලමොන් රජුගේ බිරිඳ වන තම දුවට දායාදයක් කොට දී තිබිණි.
17සලමොන් රජ ගෙශෙර් ද පහළ බෙත්-හොරොන් ද
18බාලාත් ද රට තුළ වූ පාළුකරයෙහි තාමාර් ද
19තමන් සතු සියලු ගබඩා-නගර ද රථවලට නගර ද අසරුවන්ට නගර ද ජෙරුසලමෙහිත්, ලෙබනොන්හිත්, තමාගේ රජයට අඩංගු වූ මුළු දේශයෙහිත් තමන් රිසි පරිදි ගොඩනඟනු කැමැති සියල්ල ද ගොඩනැඟුවේ ය.
20ඉශ්රායෙල්වරුන් අතින් විනාශ නොවූ, ඉශ්රායෙල්වරුන්ට මුළුමනින් ම විනාශ කර දමන්නට බැරි වූ අමෝරිවරුන්ගෙන් ද හිත්තීවරුන්ගෙන් ද පෙරිස්සිවරුන්ගෙන් ද හිවීවරුන්ගෙන් ද ජෙබුසිවරුන්ගෙන් ද ඉතිරි වූ සියලු ජාතීන්ට පසු ව,
21දේශයෙහි ඉතිරි ව සිටි ඔවුන්ගේ ජනයාගෙන් සලමොන් රජ අද දවස දක්වා රාජකාරියට වහලුන් ගණනාවක් ගත්තේ ය.
22එහෙත්, සලමොන් ඉශ්රායෙල් ජනයා අතරෙන් කිසිවෙකු වහලෙකු කොට නොගත්තේ ය. ඔව්හු වනාහි යුද්ධ භටයන් ව, ඔහුගේ සේවකයන් ව, අධිපතියන් ව, සෙන්පතියන් ව, ඔහුගේ රථ කෙරෙහි ද අසරුවන් කෙරෙහි ද ප්‍රධානියන් ව සිටියෝ ය.
23සලමොන්ගේ වැඩ බලාගත්, වැඩ කළ සෙනඟ පාලනය කළ ප්‍රධාන නිලධාරීහු පන්සිය පණස්දෙනෙක් වූ හ.
24පාරාවෝගේ දුව දාවිත්ගේ නුවර සිට සලමොන් විසින් ඇය උදෙසා ගොඩනඟන ලද ඇගේ මාලිගාවට පැමිණියා ය. ඉන්පසු ඔහු මිල්ලෝ නම් ස්ථානය ගොඩනැඟී ය.
25
26සලමොන් රජ ඒදොම් දේශයෙහි රතු මුහුද අද්දර ඒලෝත් ළඟ පිහිටි එශියොන්-ගෙබෙර්හි නැව් කණ්ඩායමක් සෑදවී ය.
27හීරාම් රජ ද මුහුදේ තතු දන්න නාවිකයන් වන තම සේවකයන් සලමොන්ගේ සේවකයන් සමඟ ඒ නැව්වල යැවී ය.
28ඔව්හු ඕපීර් නම් දේශයට ගොස් එතැනින් රන් කිලෝග්‍රෑම් දාහතරදාහක් සලමොන් රජු වෙත ගෙනාහ.