1 සාමුවෙල් 29:1-11 SINRV2006 - Bible AI

1පිලිස්තිවරු ඔවුන්ගේ සියලු හමුදාවන් අපෙක් නම් ස්ථානයට රැස් කළහ. ඉශ්රායෙල්වරු ජෙශ්‍රෙයෙල්හි උල්පත ළඟ කඳවුරු බැඳගත්හ.

2පිලිස්තිවරුන්ගේ අධිපතීහු සිය දහස් ගණන් වශයෙන් ආහ. දාවිත් ද ඔහුගේ සෙනඟ ද ආකීෂ් සමඟ ඔවුන්ට පස්සෙන් ආහ.

3එවිට පිලිස්තිවරුන්ගේ අධිපතීහු, “මේ හෙබ්‍රෙව්වරුන් මෙහි කුමක් කරත් දැ”යි ඇසූ හ. එවිට ආකීෂ් පිලිස්තිවරුන්ගේ අධිපතීන්ට කතා කොට, “මේ තැනැත්තා ඉශ්රායෙල්වරුන්ගේ රජ වන සාවුල්ගේ සේවකයෙකු ව සිටි දාවිත් ය. මොහු දැන් කලක සිට, අවුරුදු ගණනක සිට මා සමඟ සිටියි; ඔහු මට එකතු වූ දා පටන් අද දක්වා ඔහු අතේ කිසි වරදක් මට දකින්නට ලැබුණේ නැතැ”යි කී ය.

4එහෙත්, පිලිස්තිවරුන්ගේ අධිපතීහු ඔහු කෙරෙහි කෝප වී ඔහුට කතා කොට, “ඒ මිනිසා ඔබ නියම කළ ස්ථානයට ආපසු යන පිණිස ඔහු පිටත් කර හරින්න; ඔහු අප සමඟ යුද්ධයට යෑම සුදුසු නැත. සමහර විට සටන් බිමේ දී ඔහු අපට විරුද්ධ ව හැරෙන්නට බැරි කමක් නැත. මේ සෙනඟගේ හිස ගසා දැමීමෙන් මිස අන් කවර මඟකින් ඔහුට සිය ස්වාමියාගේ සිත දිනාගත හැකි ද?

5 මේ අර දාවිත් නොවේ ද? කියමින් කාන්තාවන් නටමින් එකිනෙකාට ගී කීවේ මොහු ගැන නොවේ දැ”යි කී හ.

5‘මැරී සාවුල් දහස් ගණනක් මැරී දාවිත් දස දහස් ගණනක්’

6එවිට ආකීෂ් දාවිත් කැඳවා ඔහුට කතා කොට, “ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ම, ඔබ අවංක ව ම හැසුරුණු බව මම දිවුරා කියමි. ඔබ මා සමඟ අවුත් මේ යුද්ධයේ දී සටන් කරන්නෙහි නම් මම කැමැත්තෙමි. ඔබ මා ළඟට ආ දා පටන් අද දක්වා ඔබ අත කිසි වරදක් මට දක්නට ලැබුණේ නැත; එසේ වුවත් අධිපතීන් ඔබට කැමැති නැත.

7එබැවින් පිලිස්තිවරුන්ගේ අධිපතීන් අප්‍රසන්න නොවන පිණිස දැන් සුව සේ ආපසු යන්නැ”යි කීවේ ය.

8දාවිත් පිළිතුරු දෙමින්, “මම කුමක් කෙළෙම් ද? මා අවුත් මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ගේ සතුරන්ට විරුද්ධ ව සටන් කරන්නට මට බැරි වන විධියට මා ඔබ ඉදිරියට පැමිණි දා පටන් අද දවස දක්වා ඔබේ මෙහෙකරුවා වන මා අත ඔබට සම්බ වූ වරද කුමක් දැ”යි ආකීෂ්ගෙන් ඇසුවේ ය.

9ආකීෂ් පිළිතුරු දෙමින්, “මට පෙනෙන හැටියට දෙවියන් වහන්සේගේ දූතයෙකු මෙන් ඔබ නිදොස් බව මම දනිමි. එහෙත්, පිලිස්තිවරුන්ගේ අධිපතීහු, ‘ඔබ අප කැටුව යුද්ධයට නොආ යුතු ය’යි කී හ.

10එබැවින් ඔබ සමඟ පැමිණි ඔබේ ස්වාමියාගේ සේවකයන් සමඟ අලුයම නැඟිට එළිය වැටෙද්දී ම පිටත් ව යන්නැ”යි දාවිත්ට කීවේ ය.

11මෙසේ දාවිත් ද ඔහුගේ සෙනඟ ද පිලිස්තිවරුන්ගේ දේශයෙන් හැරී යන පිණිස අලුයම පිටත් වුණෝ ය. පිලිස්තිවරු ද ජෙශ්‍රෙයෙලයට ගියහ.

le>