1අහසියාගේ මව වූ අතලියා ඇගේ පුත්‍රයා මළ බව දැක නැඟිට මුළු රාජ වංශය විනාශ කළා ය.
2එහෙත්, ජෝරාම් රජුගේ දූ වූ අහසියාගේ සහෝදරී වූ ජෙහෝෂෙබා තොමෝ මරනු ලැබූ රජුගේ පුත්‍රයන් අතරෙන් අහසියාගේ පුත් ජෝවාෂ් රැගෙන ඔහුගේ කිරි මව සමඟ යහන් ගෙයි රහසිගත ව තැබුවා ය. ඔහු මරනු නොලබන ලෙස අතලියාගෙන් ඔහු සඟවන ලදී.
3ඔහු සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි ඈ සමඟ අවුරුදු හයක් සැඟවී සිටියේ ය. අතලියා දේශයෙහි රජකම් කළා ය.
4සත් වන අවුරුද්දේ දී ජෙහෝයාදා පණිවුඩ යවා ආරක්ෂක භටයන්ගේ ද රජ මාලිගාවේ මුරකාරයන්ගේ ද ශතාධිපතීන් ගෙන්වා සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දී තමා ළඟට පමුණුවාගෙන ඔවුන් සමඟ ගිවිසුමක් කොට, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දී ඔවුන්ගෙන් දිවුරුම් ගෙන, රජුගේ පුත්‍රයා ඔවුන්ට පෙන්වා කතා කොට,
5“ඔබ කරන්නට ඕනෑ දේ මේ ය: සබත් දවසේ දී ඇතුළු වන ඔබෙන් තුනෙන් කොටසක් රජ ගෙදර මුරට සිට,
6තුනෙන් කොටසක් සූර් දොරටුවේ ද, තුනෙන් කොටසක් මුරකාරයන්ට එපිටින් තිබෙන දොරටුවේ ද සිටින්න. මෙසේ මාලිගාව මුරකර ආරක්ෂා කරන්න.
7ඔබෙන් කොටස් දෙකක් වන සබත් දවසේ දී පිටත යන සියල්ලන් ම රජු ළඟ සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි මුරකරන්න.
8ඔබ එක් එක්කෙනා තම තමාගේ ආයුධ අතින් ගෙන රජු වටකර සිට පෙළ කඩාගෙන ඒමට වෑයම් කරන තැනැත්තා මරන්න ආ යුතු ය. රජු යන එන විට ඔබ ඔහු සමඟ සිටින්නැ”යි ඔවුන්ට අණ කෙළේ ය.
9ශතාධිපතියෝ ජෙහෝයාදා පූජකයා අණ කළ සියල්ල ලෙස කරමින්, එකිනෙකා තම තමාගේ මිනිසුන් එනම්, සබත් දවසේ දී ඇතුළු වන තැනැත්තන් සබත් දවසේ දී පිටත යන තැනැත්තන් ද සමඟ කැඳවාගෙන ජෙහෝයාදා පූජකයා ළඟට ආවෝ ය.
10පූජකයා සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි තිබූ දාවිත් රජුගේ හෙල්ල හා පලිස් ශතාධිපතීන්ට දුන්නේ ය.
11මුරකාරයෝ එක් එක්කෙනා තම තමාගේ අතින් ආයුධ රැගෙන මාලිගාවේ දකුණු පැත්තේ පටන් වම් පැත්ත දක්වා පූජාසනයත්, මාලිගාවත් ළඟ රජු වටකර සිටියහ.
12එවිට ඔහු රජුගේ පුත්‍රයා පිටතට ගෙනවුත්, ඔහුගේ හිස පිට ඔටුන්න තබා ව්‍යවස්ථාව ඔහුට දුන්නේ ය. ඔව්හු රජකමට ඔහු අභිෂේක කොට අත්පොළසන් දී, “රජතුමා සැරදේ වා”යි කීවෝ ය.
13අතලියා තොමෝ මුරකාරයන්ගේත්, සෙනඟගේත් ඝෝෂාව අසා සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි සිටි සෙනඟ ළඟට ආවා ය.
14
15එවිට ජෙහෝයාදා පූජකයා සේනාවේ ප්‍රධානීන් වන ශතාධිපතීන්ට කතා කොට, “ඇය මුර භටයන් අතරෙන් පිටතට ගෙන යන්න. ඈ පස්සේ යමෙකු ආවොත් ඔහු කඩුවෙන් මරන්නැ”යි අණ කෙළේ ය. මන්ද, “සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දී ඈ මරනු නොලැබේ වා”යි පූජකයා කී ය.
16මෙසේ ඔව්හු ඈට යන්නට ඉඩ හැරියෝ ය. ඈ රජ ගෙදරට අශ්වයන් ඇතුළු වන මාර්ගයෙන් ගෙන ගිය විට එහි දී මරනු ලැබුවා ය.
17සමිඳාණන් වහන්සේගේ සෙනඟ ව සිටින හැටියට සමිඳාණන් වහන්සේ සහ රජු ද සෙනඟ ද අතර ජෙහෝයාදා තෙමේ ගිවිසුමක් කෙළේ ය; එසේ ම රජු ද සෙනඟ ද අතරේත් ගිවිසුමක් කෙළේ ය;
18දේශයේ මුළු සෙනඟ බාල්ගේ දේවාලයට ගොස් එය කඩා ඔහුගේ පූජාසනය ද රූප ද මුළුමනින් බිඳදමා, පූජාසනය ඉදිරියෙහි දී බාල්ගේ පූජකයා වූ මත්තාන් මැරුවෝ ය.
19තවද, ඔහු ශතාධිපතීන් ද ආරක්ෂක භටයන් ද මුරකාරයන් ද දේශයේ මුළු සෙනඟ ද පිරිවරා සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ සිට රජු ගෙන ගොස්, මුරකාරයන්ගේ දොරටු මාර්ගයෙන් රජ ගෙදරට පැමිණියේ ය. එවිට ඔහු රජවරුන්ගේ සිංහාසනයෙහි වාඩි විය.
20මෙසේ දේශයේ මුළු සෙනඟ ප්‍රීති වූ හ. නුවර ද සාමකාමී ව තිබිණි.
21ඔව්හු අතලියා රජ ගෙදර දී කඩුවෙන් මැරූ හ.