1ඉශ්රායෙල් රජු වන ජෙහෝවාහාස්ගේ පුත් ජෙහෝවාෂ්ගේ දෙ වන අවුරුද්දේ දී ජුදාහි රජ වූ ජෙහෝවාෂ්ගේ පුත් අමශියා රජ විය.
2විසිපස් අවුරුදු වයසේ දී ඔහු රජ වී ජෙරුසලමෙහි විසිනව අවුරුද්දක් රජකම් කෙළේ ය. ඔහුගේ මවුගේ නම ජෙහෝයද්දින් ය. ඈ ජෙරුසලමේ ස්ත්‍රියකි.
3අමශියා සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි හරි දේ කෙළේ ය. එහෙත්, ඔහු තමාගේ පිය වූ දාවිත් මෙන් නො වී ය. තම පිය වූ ජෝවාෂ් කළ සියල්ල ලෙස ඔහු කෙළේ ය.
4එසේ වී නමුත්, ගිරිකුළු දේවාල ඉවත් නොකරන ලදී. ඒ වන තෙක් සෙනඟ ගිරිකුළු දේවාලවල පූජා කොට සුවඳ ද්‍රව්‍ය පිදූ හ.
5තවද, රජකම ඔහු අතේ ස්ථිර වූ කෙණෙහි ම ඔහු තමාගේ පිය රජු මැරූ තමාගේ නිලධාරීන් මැරී ය.
6
7ඔහු ‘ලුණු’ මිටියාවතේ දී ඒදොම්වරුන් දසදහසක් මරා, යුද්ධ කොට සේලා අල්ලාගෙන, අද දක්වා තිබෙන හැටියට ඊට ජොක්තෙයෙල් යන නම තැබී ය.
8එකල අමශියා දූතයන් යවමින්, “එන්න, අපි දෙදෙන මුණගැසෙමු” කියා ජේහුගේ පුත් ජෙහෝවාහාස්ගේ පුත්‍ර ඉශ්රායෙල් රජු වන ජෙහෝවාෂ්ට කියා යැවී ය.
9ඉශ්රායෙල් රජ වන ජෙහෝවාෂ් උත්තර දෙමින්, “ ‘ඔබේ දුව මාගේ පුතාට භාර්යාව කොට දෙන්න’ කියා ලෙබනොන්හි වූ කටු පඳුර වැනි සුළු තැනැත්තා ලෙබනොන්හි වූ කිහිරි ගස වැනි උතුම් තැනැත්තාට කියා යැවී ය. එහෙත්, ලෙබනොන්හි වන මෘගයෙක් ඒ ළඟින් යන විට කටු පඳුර පාගාදැමුවේ ය.
10ඔබ හිස උදුම්වාගෙන ඒදොම්වරුන්ට පහර දුන් බව සැබෑ ය. ඔබේ සිත ද උඩඟු වී තිබේ. ඒ ගෞරවය ඔබට සෑහේ. දැන් ඉතින් ගෙදර නවතින්න. ඔබ ද ඔබ සමඟ ජුදාවරුන් ද වැටෙන ලෙස ඔබ අන්තරායට මැදි වන්නේ මන්දැ”යි ජුදාහි රජු වන අමශියාට කියා යැවී ය.
11එහෙත්, අමශියා ඇහුම්කන් දුන්නේ නැත. ඒ නිසා ඉශ්රායෙල් රජ වන ජෙහෝවාෂ් පහර දෙන්න ගියේ ය. ඔහු ද ජුදාහි රජ වන අමශියා ද ජුදාට අයිති බෙත්-ෂෙමෙෂ්හි දී එකිනෙකාට මුණගැසුණෝ ය.
12ජුදාවරු ඉශ්රායෙල්වරුන්ට පරාජය වී සියල්ලෝ ම තම තමන්ගේ කූඩාරම්වලට පලා ගියහ.
13ඉශ්රායෙල් රජ වන ජෙහෝවාෂ් අහසියාගේ පුත් ජෙහෝවාෂ්ගේ පුත්‍රයා වන ජුදාහි රජ වන අමශියා බෙත්-ෂෙමෙෂ්හි දී අල්ලාගෙන ජෙරුසලමට අවුත්, එප්‍රායිම් දොරටුවේ සිට කොනේ දොරටුව දක්වා ජෙරුසලමේ පවුරෙන් මීටර් දෙසියයක් බිඳදමා,
14සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහිත්, රජ මැදුරේ ගබඩාවලත් තිබූ රන් රිදී සියල්ල ද භාජන සියල්ල ද ඇපකාරයන් ද රැගෙන ආපසු හැරී සමාරියට ගියේ ය.
15ජෙහෝවාෂ් කළ අනික් ක්‍රියා ද ඔහුගේ වික්‍රම ද ඔහු ජුදාහි රජ වූ අමශියාට විරුද්ධ ව යුද්ධ කළ හැටි ද ඉශ්රායෙල් රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?
16ජෙහෝවාෂ් ද මියගිය පසු සමාරියෙහි ඉශ්රායෙල් රජුන් ළඟ තැන්පත් කරනු ලැබී ය. ඔහුගේ පුත් ජෙරොබෝවම් ඔහු වෙනුවට රජ විය.
17ජෙහෝවාහාස්ගේ පුත් ඉශ්රායෙල් රජ වූ ජෙහෝවාෂ්ගේ මරණයෙන් පසු ජෝවාෂ්ගේ පුත් ජුදයේ රජ වන අමශියා අවුරුදු පහළොවක් ජීවත් විය.
18අමශියාගේ අනෙක් ක්‍රියා ජුදා රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?
19මිනිසුන් ඔහුට විරුද්ධ ව ජෙරුසලමෙහි කුමන්ත්‍රණයක් කළහ. ඔහු ලාකීෂ් නම් ස්ථානයට පලා ගියේ ය. එහෙත්, ඔව්හු ඔහු පස්සේ ලාකීෂ්ට මිනිසුන් යවා එහි දී ඔහු මරා
20අශ්වයන් පිට තබා ගෙනවුත්, ජෙරුසලමෙහි දාවිත්ගේ නුවර ඔහුගේ පියවරුන් ළඟ තැන්පත් කළෝ ය.
21එකල ජුදාහි මුළු සෙනඟ දහසය අවුරුදු වයස් ව සිටි උශ්ශියා කැඳවාගෙන ඔහුගේ පියා වූ අමශියා වෙනුවට රජකමට පත් කළෝ ය.
22රජු මියගිය පසු ඔහු ඒලත් ගොඩනඟා එය ජුදා රටට නැවත අයිති කරගත්තේ ය.
23ජුදාහි රජ වූ ජෝවාෂ්ගේ පුත් අමශියාගේ පසළොස් වන අවුරුද්දේ දී ඉශ්රායෙල් රජ වූ ජෝවාෂ්ගේ පුත් ජෙරොබෝවම් සමාරියෙහි රජ වී සතළිස්එක් අවුරුද්දක් රජකම් කෙළේ ය.
24ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය. ඉශ්රායෙල්වරුන් පාපයට පෙළඹෙවූ නෙබාත්ගේ පුත් ජෙරොබෝවම්ගේ සියලු පාපවලින් ඔහු අහක් නො වී ය.
25
26මන්ද, ඉශ්රායෙල්වරුන්ගේ පීඩිතකම ඉතා බරපතල බවත්, දාසයන් ද නිර්දාසයන් ද නැති වී ගිය බවත්, ඉශ්රායෙල්වරුන්ට උපකාර කරන්නට කෙනෙකු නැති බවත් සමිඳාණන් වහන්සේ දුටු සේක.
27තවද, ඉශ්රායෙල් යන නාමය මිහි පිටින් මකා දමන බව සමිඳාණන් වහන්සේ නොවදාළ සේක. එබැවින් උන් වහන්සේ ජෝවාෂ්ගේ පුත් ජෙරොබෝවම් ලවා ඔවුන් මුදාගත් සේක.
28ජෙරොබෝවම්ගේ අනික් ක්‍රියාත්, ඔහු කළ සියල්ලත්, ඔහුගේ වික්‍රම එනම්, ඔහු යුද්ධ කළ හැටිත්, ජුදාට අයිති ව තිබූ දමස්කය ද හමාත් ද ඔහු නැවත ඉශ්රායෙල්වරුන්ට ලබාගත් හැටිත් ඉශ්රායෙල් රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?
29ජෙරොබෝවම් ද මියගියේ ය. ඔහුගේ පුත් සෙකරියා ඔහු වෙනුවට රජ විය.