2 රාජාවලියේ 22:1-20 SINRV2006 - Bible AI

1ජොෂියා අට අවුරුදු වයසේ දී රජ වී තිස්එක් අවුරුද්දක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය. ඔහුගේ මවුගේ නම ජෙදිදා ය. ඈ බෝශ්කාත්හි අදායාගේ දුවකි.

2ජොෂියා සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි හරි දේ කොට, ආඥා අකුරට ම පිළිපැද තම පිය වූ දාවිත්ගේ මුළු මාර්ගයෙහි ගමන් කෙළේ ය.

3ජොෂියා රජ තමාගේ දහඅට වන අවුරුද්දේ දී මෙෂුල්ලාම්ගේ පුත්‍රයා වන අශ්ලියාගේ පුත් ෂාපාන් ලේකම් සමිඳාණන් වහන්සේගේ මාලිගාවට යවමින් කතා කොට,

4“ඔබ නායක පූජකයා වන හිල්කියා වෙත ගොස්, සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ගෙනෙ‍න ලද, දොරටු පාලකයන් සෙනඟගෙන් එකතු කරගත් මුදල් භාර දෙන ලෙස ඔහුට දන්වන්න.

5ඒවා සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි වැඩ කරවීමට පත් ව සිටින තැනැත්තන් අතට දිය යුතු ය. ඔව්හු ද සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි කැඩුම්-බිඳුම් ප්‍රතිසංස්කරණය කිරීමට කර්මාන්තකාරයන් වන

6වඩුවන්ටත්, ගොඩනඟන්නන්ටත්, පෙදරේරුවන්ටත් මාලිගාව අලුත්වැඩියා කිරීමට ලී සහ කැපූ ගල් ද මිලයට ගැනීම පිණිස ඒවා දිය යුතු ය”යි කී හ.

7එසේ වී නමුත්, ඔවුන් විශ්වාස ලෙස කටයුතු කළ බැවින් ඔවුන් අතට දුන් මුදල ගැන ඔවුන්ගෙන් අය වැය වාර්තාවක් නොගන්න ලදී.

8නායක පූජක වන හිල්කියා ලේකම් වන ෂාපාන්ට කතා කොට, “ව්‍යවස්ථා පොත සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි මට සම්බ විය” කියා පොත ෂාපාන්ට දුන්නේ ය; ඔහු එය කියවී ය.

9ලේකම් වන ෂාපාන් තෙම රජු ළඟට හැරී අවුත්, “මාලිගාවෙහි තිබූ මුදල් ඔබේ සේවකයෝ රැගෙන සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි වැඩ කරවීමට පත් ව සිටින්නන් අතට දුන්නෝ ය”යි රජුට කී ය.

10ලේකම් වන ෂාපාන් කතා කොට, “පූජක වන හිල්කියා පොතක් මට දුන්නේ ය”යි රජුට දන්වා එය රජු ඉදිරියෙහි කියවී ය.

11රජු ඒ ව්‍යවස්ථා පොතේ වචන ඇසූ කල පුදුම වී, තමාගේ ඇඳුම් ඉරාගෙන,

12පූජක හිල්කියාටත්, ෂාපාන්ගේ පුත් අහිකාම්ටත්, මීකායාගේ පුත් අක්බොර්ටත්, ලේකම් වන ෂාපාන්ටත්, රජුගේ සේවකයා වන අසායාටත් අණ කොට,

13“ඔබ ගොස් මේ සම්බ වූ පොතේ වචන මා උදෙසාත්, සෙනඟ උදෙසාත්, සියලු ජුදාවරුන් උදෙසාත් සමිඳාණන් වහන්සේගෙන් විචාරන්න. මන්ද, අප ගැන ලියා තිබෙන සියල්ලේ ප්‍රකාරයට කරන ලෙස අපේ පියවරුන් මේ පොතේ වචනවලට ඇහුම්කන් නුදුන් නිසා අප කෙරෙහි ඇවිළ තිබෙන සමිඳාණන් වහන්සේගේ උදහස ඉමහත් ය”යි කී ය.

14එවිට පූජක හිල්කියා ද අහිකාම් ද අක්බොර් ද ෂාපාන් ද අසායා ද හර්හස්ගේ පුත්‍රයා වන තික්වාගේ පුත් වස්ත්‍ර භාරකාරයා වන ෂල්ලුම්ගේ භාර්යාව වන හුල්දා නම් දිවැසිවරිය ළඟට ගොස් ඈට කතා කෙළේ ය. ඈ ජෙරුසලමේ තම නගරයෙහි වාසය කළා ය.

15ඈ ඔවුන් අමතා, “ඉශ්රායෙල්හි දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘ඔබ මා වෙත එවූ මනුෂ්‍යයාට සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි කියන්න.

16මම මේ ස්ථානය පිටත්, මෙහි වැසියන් පිටත් ජුදාහි රජු විසින් කියවුණු පොතේ සියලු වචනවල හැටියට විපත් පමුණුවන්නෙමි.

17ඔවුන් මා අත්හැර ඔවුන් කළ සියලු ක්‍රියාවලින් මා කෝප කරවන ලෙස වෙන දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පු කළ බැවින්, මාගේ උදහස මේ ස්ථානයට විරුද්ධ ව ඇවිළෙන්නේ ය. එය නිවෙන්නේ නැත.

18එහෙත්, සමිඳාණන් වහන්සේගෙන් විචාරන පිණිස නුඹලා එවූ ජුදාහි රජුට මෙසේ කියන්න, නුඹ ඇසූ වචන ගැන ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක:

19මේ ස්ථානය පාළු වී ඊට සාප වේ වා! කියා මා මේ ස්ථානයටත්, මෙහි වැසියන්ටත් විරුද්ධ ව කියා තිබෙන කාරණා නුඹ ඇසූ විට නුඹේ සිත මෘදු වී, නුඹ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි යටහත් වී, දුකින් නුඹේ ඇඳුම් ඉරාගෙන මා ඉදිරියෙහි හැඬූ නිසා, මමත් නුඹට ඇහුම්කන් දුන්නෙමි.

20එබැවින් නුඹේ පියවරුන් ළඟට නුඹ පමුණුවන්නෙමි. මා විසින් මේ ස්ථානයට පමුණුවනු ලබන සියලු ම විපත්ති නුඹේ ඇස්වලින් නොදැක, නුඹේ සොහොනට නුඹ සාමදානයෙන් පැමිණෙන්නෙහි ය’යි කියා වදාරන සේකැ”යි කීවා ය. ඔව්හු හැරී අවුත් රජුට එය සැළ කළෝ ය.

cle>