1සත් වන අවුරුද්දේ දී ජෙහෝයාදා ධෛර්ය වඩා, ශතාධිපතීන් වන ජෙරෝහාම්ගේ පුත් අශරියා ද ජෙහෝහානාන්ගේ පුත් ඉෂ්මායෙල් ද ඕබෙද්ගේ පුත් අසරියා ද අදායාගේ පුත් මයසේයා ද ශික්රිගේ පුත් එලිෂාපාට් ද සමඟ ගිවිසුමක් කර ගත්තේ ය.
2ඔව්හු ජුදා දේශයෙහි ඔබමොබ ගොස්, ජුදාහි සියලු නගරවලින් ලෙවීවරුන් ද ඉශ්රායෙල්වරුන්ගේ පිය වංශවල ප්‍රධානීන් ද රැස් කරගෙන ජෙරුසලමට ආවෝ ය.
3
4ඔබ හැම කරන්නට ඕනෑ දේ මේ ය. සබත් දවසේ දී දේව මාලිගාවට ඇතුල් වන පූජකයන් ද ලෙවීවරුන් ද වන ඔබෙන් තුනෙන් කොටසක් දොරටු පාලකයන් විය යුතු ය.
5තුනෙන් කොටසක් රජ ගෙයි ද තුනෙන් කොටසක් අත්තිවාරම් දොරටුවෙහි ද සිටිය යුතු ය. මුළු සෙනඟ ද සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි මණ්ඩපවල සිටිත්වා.
6එහෙත්, පූජකයන් ද ලෙවීවරුන්ගෙන් සේවය කරන්නන් ද හැර වෙන කිසිවෙක් සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ඇතුල් නොවෙත්වා. ඔව්හු විශුද්ධ ව සිටින නිසා ඇතුළු වෙත්වා. එහෙත්, මුළු සෙනඟ සමිඳාණන් වහන්සේගේ නියමයන් පිළිපැද්ද යුතු ය.
7ලෙවීවරුන් එක් එක්කෙනා තම තමාගේ ආයුධ අතින් ගෙන රජු වටකර සිටිය යුතු ය. දේව මාලිගාවට ඇතුළු වන කවුරුන් නමුත් මරනු ලැබිය යුතු ය. රජු ඇතුළු වන කල්හි ද පිටත යන කල්හි ද ඔබ හැම ඔහු සමඟ සිටින්නැ”යි කීවේ ය.
8ලෙවීවරු ද සියලු ජුදාවරු ද ජෙහෝයාදා පූජකයා විසින් අණ කරනු ලැබූ සියල්ල ලෙස කොට, එකිනෙකා තම තමාගේ මිනිසුන් වන, සබත් දවසේ දී ඇතුළු වන තැනැත්තන් පිටත යන තැනැත්තන් සමඟ කැඳවාගත්තෝ ය. මන්ද, ජෙහෝයාදා පූජකයා මුරකාවල් නිදහස් කර නොහැරියේ ය.
9එවිට ජෙහෝයාදා පූජකයා දෙවියන් වහන්සේගේ මාලිගාවෙහි තිබූ දාවිත් රජුගේ හෙල්ල ද කුඩා පලිස් සහ මහ පලිස් ද ශතාධිපතීන්ට දී,
10මුළු සෙනඟ එකිනෙකා තම තමාගේ ආයුධ අතේ ඇති ව දේව මාලිගාවේ දකුණු පැත්තේ සිට දේව මාලිගාවේ වම් පැත්ත දක්වා පූජාසනයත්, දේව මාලිගාවත් ළඟ රජු වටකර සිටෙව්වේ ය.
11ඉන්පසු ඔව්හු රජ කුමාරයා පිටතට ගෙනවුත්, ඔහු මත්තෙහි ඔටුන්න තබා, ව්‍යවස්ථාව ඔහුට දී, ඔහු රජකමට පත් කළෝ ය. ජෙහෝයාදා ද ඔහුගේ පුත්‍රයෝ ද ඔහු අභිෂේක කොට, “මහ රජ සැරදේවා” කියා හඬ නැඟුවහු ය.
12සෙනඟ රජ වෙත දුවමින්, රාජ ප්‍රශස්ති ගී ගයන හඬ අතලියාට ඇසුණ විට, ඈ සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි සිටි සෙනඟ ළඟට ආවා ය.
13ඈ බැලූ විට ඇතුළු වන තැන රජ තෙම තම වේදිකාව උඩ සිටිනවාත්, රජු ළඟ අධිපතීන් ද නළාකාරයන් ද සිටිනවාත් දැක, දේශයේ මුළු සෙනඟ ප්‍රීතිමත් ව හොරණෑ පිඹිණවාත්, ගී කියන්නන් ද තූර්ය භාණ්ඩවලින් ගායනා කරන්නන් ද ප්‍රශස්ති ගී ගයනවාත් අසා, කෝපයෙන් ඇගේ ඇඳුම් ඉරාගෙන, “ද්‍රෝහිකම ය, ද්‍රෝහිකම ය” කියා කෑ ගැසුවා ය.
14එවිට ජෙහෝයාදා පූජකයා සේනාවේ ප්‍රධානීන් වන ශතාධිපතීන් පිටතට ගෙනවුත්, ඔවුන්ට කතා කොට, “ඇය පේළි අතරෙන් පිටතට ගෙන එන්න. ඈ පස්සේ යමෙකු ආවොත් ඔහු කඩුවෙන් මරන්නැ”යි අණ කෙළේ ය. “දේව මාලිගාවෙහි දී ඈ මරනු නොලබාවා”යි පූජකයා කියා තිබිණි.
15ඔව්හු ඇය අත්අඩංගුවට ගත්හ; ඈ රජ ගෙදරට ගෙන ගියෝ ය. එහි දී අශ්ව දොරටුව ළඟ ඔව්හු ඈ මැරුවෝ ය.
16සමිඳාණන් වහන්සේගේ සෙනඟ වී සිටින ලෙස ජෙහෝයාදා තමා සහ මුළු සෙනඟත්, රජුත් අතරේ ගිවිසුමක් කෙළේ ය.
17මුළු සෙනඟ බාල් දෙවියාගේ ගෘහයට ගොස් එය කඩා දමා, ඔහුගේ පූජාසන ද ඔහුගේ පිළිම ද බිඳ දමා පූජාසන ඉදිරියෙහි බාල්ගේ පූජකයා වන මත්තන් මැරුවෝ ය.
18තවද, දාවිත්ගේ නියමයේ ප්‍රකාරයට ප්‍රීතිය ද ගී ගැයීම ද ඇති ව, සමිඳාණන් වහන්සේගේ දවන යාග පූජා මෝසෙස්ගේ ව්‍යවස්ථාවෙහි ලියා තිබෙන ලෙස ඔප්පු කිරීමට, ජෙහෝයාදා උන් වහන්සේගේ මාලිගාවේ මුර මෙහෙයවල් දාවිත් විසින් උන් වහන්සේගේ මාලිගාවේ සේවයට බෙදා නියම කරන ලද ලෙවීවරුන් වන පූජකයන් අතට බාර කෙළේ ය.
19යම් හෙයකින් අපවිත්‍ර කිසිවෙකු ඇතුළු නොවන පිණිස ඔහු සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දොරකඩවල දොරටු පාලකයන් සිටෙවුවේ ය.
20තවද, ඔහු ශතාධිපතීන් ද වංශාධිපතීන් ද සෙනඟගේ ආණ්ඩුකාරයන් ද දේශයේ මුළු සෙනඟ ද කැඳවාගෙන, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ සිට රජු ගෙන ගියේ ය. ඔව්හු ඉහළ දොරටුවෙන් රජ ගෙට පැමිණ රජතුමන් රාජාසනයෙහි වාඩි කරවූ හ. මෙසේ දේශයේ මුළු සෙනඟ ප්‍රීති වූ හ.
21නගරය ද සාමකාමී ව තිබුණේ ය. මෙලෙස ඔව්හු අතලියා කඩුවෙන් මැරුවෝ ය.