1ජෝවාෂ් සත් අවුරුදු වයසේ දී රජ වී ජෙරුසලමෙහි සතළිස් අවුරුද්දක් රජකම් කෙළේ ය. ඔහුගේ මවගේ නම ශිබියා ය. ඈ බෙයර්-ෂෙබාහි ස්ත්‍රියකි.
2ජෙහෝයාදා පූජකයාගේ කාලයේ මුළුල්ලෙහි ජෝවාෂ් සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි හරි දේ කෙළේ ය.
3ජෙහෝයාදා ඔහුට භාර්යාවන් දෙදෙනෙකු පාවා දුන්නේ ය. ඔහුට දාව පුත්‍රයෝත්, දූවරුත් උපන්නෝ ය.
4ඉන්පසු ජෝවාෂ් සමිඳාණන් වහන්සේගේ මාලිගාව ප්‍රකෘතිමත් කරන්න සිතට ගෙන,
5පූජකයන් ද ලෙවීවරුන් ද රැස් කරගෙන ඔවුන්ට කතා කොට, “ඔබ හැම ජුදාහි නගරවලට ගොස් අවුරුද්දෙන් අවුරුද්ද ඔබේ දෙවියන් වහන්සේගේ මාලිගාව අලුත්වැඩියා කරන පිණිස සියලු ඉශ්රායෙල්වරුන්ගෙන් මුදල් එකතු කරන්න. ඒ කාරණය ගැන ඉක්මන්වන්නැ”යි කීවේ ය. එහෙත්, ලෙවීවරු ඉක්මන් නො වූ හ.
6
7මන්ද දුෂ්ට වූ අතලියා සහ ඇගේ පුත්‍රයන් දෙවියන් වහන්සේගේ මාලිගාව කඩා, උන් වහන්සේගේ මාලිගාවේ කැප වූ සියලු දේවල් බාල් දේවතාවන් උදෙසා පාවිච්චියට ගෙන ගොස් තිබුණු හෙයිනි.
8තවද, පෙට්ටියක් සාදා සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දොරකඩ පිටතින් තබන ලෙස රජ අණ කෙළේ ය.
9එවිට දෙවියන් වහන්සේගේ මෙහෙකරුවා වූ මෝසෙස් පාළුකරයේ දී ඉශ්රායෙල්වරුන්ට නියම කළ බද්ද සමිඳාණන් වහන්සේ උදෙසා ගෙනෙන්න කියා ජුදාහි සහ ජෙරුසලමෙහි ප්‍රසිද්ධ කරන ලද්දේ ය.
10එවිට සියලු අධිපතීහු ද මුළු සෙනඟ ද සන්තෝෂ ව, බදු ගෙවා නිම වන තුරු මුදල් ගෙනවුත් පෙට්ටියේ දැම්මෝ ය.
11මෙයාකාරයෙන් ඒ පෙට්ටිය ලෙවීවරුන් ලවා රාජ භාණ්ඩාගාරයට ගෙන්වන විටත්, බොහෝ මුදල් තිබෙන බව දකින විටත්, රජුගේ ලේකම් ද උත්තම පූජකයාගේ සේවකයා ද අවුත් පෙට්ටිය හිස්කර, එය නැවත ගෙන ගොස් පළමු තිබුණු තැන තැබූ හ. ඔව්හු දවසින් දවස මෙසේ කොට බොහෝ මුදල් එකතු කළෝ ය.
12රජ සහ ජෙහෝයාදා සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ මෙහෙයේ කටයුතු කරවන්නට ඒවා දුන්නෝ ය. ඔව්හු උන් වහන්සේගේ මාලිගාව අලුත්වැඩියා කරන පිණිස ගල්වඩුවන් ද වඩුවන් ද උන් වහන්සේගේ මාලිගාව හරිගැස්සීමට යකඩ සහ ලෝකඩ වැඩ කරන්නන් ද කුලියට ගත්හ.
13කම්කරුවෝ වීර්යයෙන් වැඩ කළෝ ය. මෙසේ ඔවුන් විසින් ඒ වැඩ සම්පූර්ණ කරන ලදී. ඔව්හු දෙවියන් වහන්සේගේ මාලිගාව නිසි ලෙස පිහිටුවා එය සවි කළෝ ය.
14වැඩ නිම කළ පසු ඔව්හු ඉතිරි මුදල රජු සහ ජෙහෝයාදා ඉදිරිපිටට ගෙනාවෝ ය. එයින් සමිඳාණන් වහන්සේගේ මාලිගාවට භාණ්ඩ එනම්, මෙහෙයටත්, පූජා ඔප්පු කිරීමටත් බඩු ද හැඳි ද රන් රිදී භාජන ද සාදන ලද්දේ ය. ජෙහෝයාදාගේ මුළු කාලයේ දී සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දවන යාග පූජා නිතර ම ඔප්පු කරන ලද්දේ ය.
15එහෙත්, ජෙහෝයාදා මහලු ව දීර්ඝ ආයු වළඳා මළේ ය. මැරෙන කල ඔහුට වයස අවුරුදු එකසිය තිහකි.
16ඔහු ඉශ්රායෙල්හි ද දෙවියන් වහන්සේ සහ උන් වහන්සේගේ මාලිගාව උදෙසා ද යහපත කළ බැවින් දාවිත්ගේ නුවර රජවරුන් අතරේ තැන්පත් කරනු ලැබී ය.
17ජෙහෝයාදා මියගිය පසු ජුදාහි අධිපතීහු අවුත් රජුට ආචාර කළහ. එවිට රජ ඔවුන්ට සවන් දුන්නේ ය.
18ඔව්හු තමන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ මාලිගාව අත්හැර දමා අෂේරා කප් කණුවලටත්, පිළිමවලටත් සේවය කළෝ ය. ඔවුන්ගේ මේ වරද නිසා ජුදා දේශය ද ජෙරුසලම ද පිට දේව උදහස පැමිණියේ ය.
19එහෙත්, ඔවුන් සමිඳාණන් වහන්සේ වෙත හරවන පිණිස උන් වහන්සේ දිවැසිවරුන් ඔවුන් අතරට එවූ සේක. ඒ දිවැසිවරුන් ඔවුන්ට අවවාද කළ නමුත්, ඔව්හු ඇහුම්කන් නුදුන්හ.
20
21ඔව්හු රජුගේ ආඥාව පිට ඔහුට විරුද්ධ ව කුමන්ත්‍රණ කොට, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ මළුවේ දී ඔහුට ගල් ගැසුවෝ ය.
22මෙසේ ජෝවාෂ් රජ ශෙකරියාගේ පිය වූ ජෙහෝයාදා තමාට පෙන් වූ කරුණාව සිහි නොකොට ඔහුගේ පුත්‍රයා මැරී ය. ඔහු මැරෙද්දී කතා කොට, “සමිඳාණන් වහන්සේ මෙය බලා ප්‍රතිවිපාක දෙන සේක්වා”යි කීවේ ය.
23ඊළඟ අවුරුද්දෙහි සිරියන්වරුන්ගේ සේනාව ජෝවාෂ්ට විරුද්ධ ව පැමිණියේ ය. ඔව්හු ජුදා දේශයටත්, ජෙරුසලමටත් පැමිණ, සෙනඟ අතරෙන් සෙනඟගේ සියලු අධිපතීන් නැතිකර දමා, ඔවුන්ගෙන් ගත් මුළු කොල්ලය දමස්කයේ රජුට යැවූ හ.
24සිරියන්වරුන්ගේ සේනාව ගණනින් ස්වල්ප දෙනෙකු ව පැමිණි නමුත්, ජුදාවරුන් තම පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ අත්හළ නිසා, සමිඳාණන් වහන්සේ ඉතා විශාල සේනාවක් ඔවුන් අතට පාවා දුන් සේක. මෙසේ ඔව්හු ජෝවාෂ්ට සුදුසු ලෙස දඬුවම් දුන්හ.
25ඔහු බොහෝ තුවාළ වී සිටිද්දී ඔවුන් ඔහු අත්හැර ඔහු වෙතින් ගිය පසු, ඔහුගේ සේවකයෝ පූජක වූ ජෙහෝයාදාගේ පුත්‍රයන්ගේ මරණය ගැන ඔහුට විරුද්ධ ව කුමන්ත්‍රණ කොට ඔහුගේ ඇඳේ දී ඔහු මැරුවෝ ය. මෙසේ ඔහු මියගියේ ය. ඔව්හු දාවිත්ගේ නුවර ඔහු තැන්පත් කළ නමුත්, රජවරුන්ගේ සොහොන් ගෙවල තැන්පත් නොකළෝ ය.
26ඔහුට විරුද්ධ ව කුමන්ත්‍රණ කළ අය නම්, අම්මොනිය ස්ත්‍රියක වන ෂිමෙයාත්ගේ පුත් සාබාද් සහ මෝවබිය ස්ත්‍රියක වන ෂිම්රීත්ගේ පුත් ජෙහෝශාබාද් ය.
27ඔහුගේ පුත්‍රයන් ගැන ද, ඔහු පිට තබන ලද විශාල වගකීම සහ දෙවියන් වහන්සේගේ මාලිගාව දෙවනුව ගොඩනැඟීම ගැන ද රාජාවලී අටුවා පොතෙහි ලියා තිබේ. ඔහුගේ පුත් අමශියා ඔහු වෙනුවට රජ විය.