2 වංශාවලියේ 27:1-9 SINRV2006 - Bible AI

1ජෝතාම් විසිපස් අවුරුදු වයසේ දී රජ වී ජෙරුසලමේ දහසය අවුරුද්දක් රජකම් කෙළේ ය. ඔහුගේ මවගේ නම ජෙරුෂා ය. ඈ ශාදොක්ගේ දුවකි.

2තමාගේ පිය වූ උශ්ශියා කළ සියල්ල ලෙස ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි හරි දේ කෙළේ ය. එහෙත්, ඔහු සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ඇතුළු වූයේ නැත. ඒ කාලයෙහිත් සෙනඟ දුෂ්ටකම් කළෝ ය.

3ඔහු සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ඉහළ දොරටුව ද ඕපෙල් පවුරේ බොහෝ තැන් ද ගොඩනැඟුවේ ය.

4ජුදා කඳු රටෙහි නගර ද මූකළන්වල බලකොටු ද මුරකොටු ද ඔහු ගොඩනැඟුවේ ය.

5ඔහු අම්මොන්වරුන්ගේ රජුට විරුද්ධ ව යුද්ධ කොට ඔවුන්ගෙන් ජයගත් පසු, අම්මොන්වරු ඒ අවුරුද්දේ රිදී කිලෝග්‍රෑම් තුන්දහස් හාරසියයක් ද තිරිඟු මෙට්රික් ටොන්‍ දහසක් ද යව මෙට්රික් ටොන්‍ දහසක් ද ඔහුට දුන්නෝ ය. දෙ වන, තුන් වන අවුරුදුවල දීත් අම්මොන්වරු එසේ ගෙවූ හ.

6මෙසේ ජෝතාම් දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි යහ මඟ ගිය බැවින් බලවත් විය.

7ජෝතාම්ගේ අනික් ක්‍රියා ද සියලු යුද්ධ ද ඔහුගේ ප්‍රතිපත්ති ද ඉශ්රායෙල් සහ ජුදා රජුන්ගේ පොතෙහි ලියා තිබේ.

8ඔහු විසිපස් අවුරුදු වයසේ දී රජ වී ජෙරුසලමෙහි දහසය අවුරුද්දක් රජකම් කෙළේ ය.

9ජෝතාම් මියගිය පසු දාවිත්ගේ නුවර තැන්පත් කරන ලදී. ඔහුගේ පුත් ආහාස් ඔහු වෙනුවට රජ විය.

le>