1ජොෂියා ජෙරුසලමෙහි සමිඳාණන් වහන්සේට පාස්කු මංගල්‍යයක් පැවැත්වී ය. ඔව්හු පළමු වන මාසයේ දහහතර වන දා පාස්කු බැටළු පැටවුන් මැරූ හ.
2ජොෂියා, පූජකයන් ඔවුන්ගේ තනතුරුවලට පත්කොට, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ මෙහෙයට ඔවුන් ධෛර්ය කරවී ය.
3සියලු ඉශ්රායෙල්වරුන්ට ඉගැන්නුවා වූ ද සමිඳාණන් වහන්සේ උදෙසා ශුද්ධ ව සිටියා වූ ද ලෙවීවරුන්ට ඔහු කතා කොට, “ඉශ්රායෙල් රජ වූ දාවිත්ගේ පුත් සලමොන් විසින් සාදන ලද මාලිගාවෙහි ශුද්ධ ගිවිසුම් කරඬුව තබන්න. ඔබේ කර පිට තවත් බරක් නැත. දැන් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්නටත්, උන් වහන්සේගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ට සේවය කරන්නටත්,
4
5සෙනඟගේ පුත්‍රයන් වන ඔබේ සහෝදරයන් උදෙසා පිය වංශවල බෙදීම්වල හැටියට ද ලෙවීවරුන් උදෙසා පිය වංශයකින් කොටසක් ඇති ව ද ශුද්ධස්ථානයෙහි සිට
6පාස්කු බැටළු පැටවුන් මරන්න. ඔබ පවිත්‍ර වී, මෝසෙස් මඟින් ලත් සමිඳාණන් වහන්සේගේ වචනයේ හැටියට කිරීමට ඔබේ සහෝදරයන් උදෙසා උන් සූදානම් කරන්නැ”යි කීවේ ය.
7ජොෂියා රජ ද පැමිණ සිටි සෙනඟගේ පුත්‍රයන් සියල්ලන්ට පාස්කු පූජා පිණිස ම ගණනේ හැටියට බැටළු පැටවුන් ද එළු පැටවුන් ද තිස්දහසකුත්, ගොනුන් තුන්දහසකුත් තමාගේ ම සම්පතෙන් දුන්නේ ය.
8ඔහුගේ අධිපතීහු ද සෙනඟගේ ස්වේච්ඡා පූජා සඳහා සෙනඟටත්, පූජකයන්ටත්, ලෙවීවරුන්ටත් එලෙස දුන්නෝ ය. දෙවියන් වහන්සේගේ මාලිගාවේ අධිපතියන් වූ හිල්කියා ද ශෙකරියා ද ජෙහියෙල් ද පාස්කු පූජා පිණිස බැටළු පැටවුන් දෙදාස් හයසියයකුත්, ගොනුන් තුන්සියයකුත් පූජකයන්ට දුන්නෝ ය.
9ලෙවීවරුන්ගේ අධිපතියන් වූ කොනනියා ද ෂෙමායා සහ නෙතනේල් යන ඔහුගේ සහෝදරයෝ ද හෂබියා ද ජෙයියෙල් ද ජෝශාබාද් ද පාස්කු පූජා පිණිස බැටළු පැටවුන් පන්දහසකුත්, ගොනුන් පන්සියයකුත් ලෙවීවරුන්ට දුන්නෝ ය.
10මෙසේ පූජාකිරීමේ පිළිවෙත සූදානම් කරන ලද්දේ ය. පූජකයෝ තමන්ගේ ස්ථානයේ ද ලෙවීවරු තමන්ගේ පංතිවල ප්‍රකාරයට ද රජුගේ ආඥාව පරිද්දෙන් සිටියෝ ය.
11ඔව්හු පාස්කු බැටළු පැටවුන් මැරුවෝ ය. පූජකයෝ ද ඔවුන් අතින් ලේ රැගෙන ඉස්සෝ ය. ලෙවීවරු සතුන් හම ගසා සූදානම් කළහ.
12ඔව්හු මෝසෙස්ගේ පොතෙහි ලියා තිබෙන ලෙස සමිඳාණන් වහන්සේට ඔප්පු කරන පිණිස දවන යාග පූජාව සෙනඟගේ පුත්‍රයන්ගේ පිය වංශ බෙදීම්වල හැටියට දීමට වෙන් කළෝ ය. ගවයින්ටත් එසේ ම කළෝ ය.
13
14ඉන්පසු ඔව්හු තමන්ටත්, පූජකයන්ටත් ඒවා පිළියෙළ කළෝ ය. මන්ද, ආරොන්ගේ පුත්‍රයන් වූ පූජකයෝ දවන යාග පූජා ද තෙල් ද රෑ වන තුරු ඔප්පු කරමින් සිටියහ. ලෙවීවරු තමන්ටත්, ආරොන්ගේ පුත්‍රයන් වන පූජකයන්ටත් ඒවා පිළියෙළ කළෝ ය.
15
16මෙසේ ජොෂියා රජුගේ ආඥාව ලෙස පාස්කුව පවත්වන්නත්, සමිඳාණන් වහන්සේගේ පූජාසන පිට දවන යාග පූජා ඔප්පු කරන්නත් සමිඳාණන් වහන්සේගේ මුළු මෙහෙය එම දවසේ පිළියෙළ කර තිබුණේ ය.
17
18එයාකාර පාස්කුවක් දිවැසිවර සාමුවෙල්ගේ කාලයට පසු ව ඉශ්රායෙල්වරුන් අතරේ නොපවත්වන ලදී. ජොෂියා ද පූජකයන් ද ලෙවීවරුන් ද එහි සිටි ජුදා හා ඉශ්රායෙල්හි සියල්ලන් ද ජෙරුසලමේ වැසියන් ද පැවැත්වූවාක් මෙන් ඉශ්රායෙල් රජුන්ගෙන් කිසිවෙකු වත් එයාකාර පාස්කුවක් පැවැත්වූයේ නැත.
19ඒ පාස්කුව පැවැත්වූයේ ජොෂියා රජකමට පත් වූ දහඅට වන අවුරුද්දේ දී ය.
20ජොෂියා මේ සියල්ල කර මාලිගාව පිළියෙළ කළායින් පසු, මිසරයේ රජ වූ නෙකෝ, යුප්‍රටීස් ගඟ ළඟ තිබෙන කර්කෙමිෂ් නම් ස්ථානයට ඔවුන්ට විරුද්ධ ව යුද්ධ කරන්න ආවේ ය. ජොෂියා ද ඔහුට විරුද්ධ ව පිටත් ව ගියේ ය.
21එහෙත්, මිසරයේ රජ ජොෂියා වෙත තානාපතියන් එවමින්, “ජුදාහි රජතුමෙනි, මාගෙන් ඔබට කුමන වැඩක් ද? ඔබට විරුද්ධ ව නොව මා සමඟ යුද්ධ කරන වංශයට විරුද්ධ ව අද මම එමි. ඉක්මන් වන්න කියා දෙවියන් වහන්සේ මට අණකළ සේක; දෙවියන් වහන්සේ මා සමඟ සිටින සේක. උන් වහන්සේ ඔබ විනාශ නොකරන පිණිස උන් වහන්සේගේ කාරණා ගැන හරස් නොවිය යුතු ය” කියා දැන්වී ය.
22එහෙත්, ජොෂියා, නෙකෝ කී දෙවියන් වහන්සේගේ වචනය නොඅසා, ඔහු වෙතින් අහක් ව නොගොස්, ඔහු සමඟ යුද්ධ කරන පිණිස, වෙස් මාරුකරගෙන මෙගිද්දෝ මිටියාවතෙහි සටනට පැමිණියේ ය.
23දුනුකාරයෝ ජොෂියා රජුට විද්දෝ ය. එවිට රජු කතා කොට, “මට බොහෝ තුවාළ වූ බැවින් අහකට ගෙනයන්නැ”යි තම සේවකයන්ට කී ය.
24ඔහුගේ සේවකයෝ රථයෙන් ඔහු රැගෙන ඔහුගේ දෙ වන රථයට නංවාගෙන ජෙරුසලමට ආවෝ ය. ඔහු මියගිය පසු තමාගේ පියවරුන්ගේ සොහොන් ගෙවල තැන්පත් කරන ලද්දේ ය. සියලු ජුදාවරු ද ජෙරුසලමේ වැසියෝ ද ජොෂියා ගැන වැළපුණාහ.
25ජෙරමියා වනාහි ජොෂියා ගැන විලාප ගීතිකාවක් කෙළේ ය. ගී ගයන සියලු මිනිස්සු ද ගී ගයන සියලු ස්ත්‍රීහු ද අද දක්වා තමන්ගේ විලාප ගීතිකාවලින් ජොෂියා ගැන කතා කරති. ඔව්හු ඒවා ඉශ්රායෙල් අතරෙහි නියෝගයක් කොට දුන්නෝ ය.
26ඒවා විලාප ගීතිකාවල ලියා තිබේ. ජොෂියාගේ අනික් ක්‍රියා ද සමිඳාණන් වහන්සේගේ ව්‍යස්ථාවේ ලියා තිබෙන හැටියට ඔහු කළ භක්තිමත් වැඩ ද,
27මුල පටන් අග දක්වා ඔහුගේ ඉතිහාසය ද ඉශ්රායෙල් සහ ජුදා රජවරුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයෙහි වාර්තාකර තිබේ.