2 වංශාවලියේ 7:1-22 SINRV2006 - Bible AI

1 සලමොන් යාච්ඤා කර නිම කළ විට අහසින් ගිනි බැස අවුත් දවන යාග පූජාව ද යාගයන් ද දවාදැමී ය. සමිඳාණන් වහන්සේගේ තේජාලංකාරයෙන් මාලිගාව පිරී ගියේ ය.

2සමිඳාණන් වහන්සේගේ තේජාලංකාරයෙන් උන් වහන්සේගේ මාලිගාව පිරී තිබුණු නිසා පූජකයන්ට ඒ මාලිගාවට ඇතුල් වන්න බැරි විය.

3 සියලු ඉශ්රායෙල්වරු ගිනි බසිනවාත් සමිඳාණන් වහන්සේගේ තේජාලංකාරය මාලිගාව පිට තිබෙනවාත් දැක, ගල් ඇල්ලූ බිමට තමන්ගේ හිස් නමා නමස්කාර කොට, “උන් වහන්සේ යහපත් ය; උන් වහන්සේගේ කරුණාව සදහට පවත්නේ ය”යි කියමින් සමිඳාණන් වහන්සේට ස්තුති කළෝ ය.

4ඉන්පසු ව රජ ද මුළු සෙනඟ ද සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පූජා ඔප්පු කළහ.

5සලමොන් රජ ගවයන් විසිදෙදහසක් ද බැටළුවන් එක්ලක්ෂ විසිදහසක් ද ඔප්පු කෙළේ ය. මෙසේ රජ ද මුළු සෙනඟ ද දෙවියන් වහන්සේගේ මාලිගාව කැප කළහ.

6පූජකයෝ ද තම තමන්ගේ තනතුරුවල යෙදී සිටියහ. ලෙවීවරුත් සමිඳාණන් වහන්සේගේ තූර්ය භාණ්ඩ රැගෙන සිටියෝ ය. ඔව්හු දාවිත් රචිත ගී ගයමින්, “සමිඳාණන් වහන්සේගේ කරුණාව සදහට ම පවත්නේ ය”යි කියමින් උන් වහන්සේට ප්‍රශංසා කළහ. උන් වහන්සේට ස්තුති කිරීමට දාවිත් විසින් ඒවා රචනා කරනු ලැබ තිබිණි. පූජකයෝ ද ඔවුන් ඉදිරිපිටින් සිටගෙන නළා පිම්බෝ ය; සියලු ඉශ්රායෙල්වරු ද නැඟිට සිටියහ.

7තවද, සලමොන් සමිඳාණන් වහන්සේගේ මාලිගාව ඉදිරිපිට තිබුණු මිදුලේ මැදභාගය විශුද්ධ කෙළේ ය. මන්ද, ඔහු දවන යාග පූජා ද සහභාගිකමේ පූජාවල තෙල ද එහි ඔප්පු කළ බැවිනි. එසේ කෙළේ, සලමොන් සෑදූ ලෝකඩ පූජාසනය දවන යාග පූජාව ද ආහාර පූජාව ද තෙල ද තැබීමට ප්‍රමාණවත් නොවූ නිසා ය.

8මෙසේ ඒ කාලයේ දී සලමොන් ද ඔහු සමඟ සියලු ඉශ්රායෙල්වරු ද හමාත්ට ඇතුළු වන තැන පටන් මිසරයේ ඔය දක්වා සිට පැමිණි ඉතා විශාල සමූහයක් ද මංගල්‍යය පැවැත්වූ හ.

9අට වන දා ඔව්හු මංගල්‍ය රැස්වීමක් පැවැත්වූ හ. මන්ද, ඔවුන් සත් දවසක් පූජාසනය කැප කිරීම ද සත් දවසක් මංගල්‍යය ද පැවැත්වූ බැවිනි.

10සත් වන මාසයේ විසිතුන් වන දා ඔහු සෙනඟ තම තමන්ගේ කූඩාරම්වලට යන්නට හැරියේ ය. ඔව්හු ද සමිඳාණන් වහන්සේ දාවිත්ටත්, සලමොන්ටත්, තමන්ගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ටත් කළ යහපත ගැන ප්‍රීති සන්තෝෂ වෙමින් යන්න ගියෝ ය.

11මෙසේ සලමොන් සමිඳාණන් වහන්සේගේ මාලිගාව ද රජ මැදුර ද සාදා නිම කෙළේ ය. උන් වහන්සේගේ මාලිගාවෙහිත්, තමාගේ ම රජ මැදුරෙහිත් කරන්න අදහස් කළ සියල්ල සලමොන් ඉෂ්ට කෙළේ ය.

12එවිට සමිඳාණන් වහන්සේ රාත්‍රියේ සලමොන්ට දර්ශනය වී මෙසේ වදාළ සේක: “මම නුඹේ යාච්ඤාව අසා මේ ස්ථානය මට පූජාසනයක් කොට තෝරාගතිමි.

13වැසි නොවසින ලෙස මම අහස වසාලන්නෙම් නම්, නොහොත් රට පාළු කිරීමට පළඟැටියන්ට අණ කරන්නෙම් නම්, නොහොත් මාගේ සෙනඟ අතරට වසංගතය එවන්නෙම් නම්,

14මාගේ නාමය දරන මාගේ සෙනඟ බැගෑපත් වී, යාච්ඤා කර, මා සොයා තමන්ගේ නපුරු මාර්ග අත්හැරියොත්, මම ස්වර්ගයේ සිට එය අසා, ඔවුන්ගේ පව් කමා කොට ඔවුන්ගේ දේශයට සෙත සලසන්නෙමි.

15දැන් ද මින් ඉදිරියට ද මේ ස්ථානයේ දී කරන යාච්ඤාවට මාගේ ඇස් ඇර, මාගේ කන් යොමු කරනු ලැබේ.

16දැන් ද ඉදිරියට ද මාගේ නාමය මේ මාලිගාවෙහි සදහට ම තිබෙන පිණිස මෙය තෝරාගෙන විශුද්ධ කෙළෙමි. මාගේ නෙත් ද මාගේ සිත ද නිතර ම මෙතැනට යොමු වී තිබෙන්නේ ය.

17ඉතින්, නුඹේ පිය දාවිත් හැසුරුණ පරිදි නුඹ මා ඉදිරියෙහි හැසිරෙමින්, මා විසින් නුඹට අණ කරන ලද සියල්ල කරමින්, මාගේ පණත් ද විනිශ්චයයන් ද පිළිපදින්නෙහි නම්,

18 ඉශ්රායෙල්හි ආණ්ඩුකාරයෙකු වීමට නුඹෙන් කෙනෙක් නැති ව නොයන්නේ ය කියා මා නුඹේ පිය දාවිත්ට පොරොන්දු වූ ලෙස නුඹේ රාජ්‍යයේ සිංහාසනය ස්ථිර කරන්නෙමි.

19එහෙත්, නුඹලා මා වෙතින් ඉවත් ව ගොස්, මා නුඹලා ඉදිරියෙහි තබා තිබෙන මාගේ පණත් ද ආඥා ද අත්හැර ගොස්, වෙන දෙවිවරුන්ට වැඳුම්පිදුම් කර ඔවුන්ට නමස්කාර කරන්නහු නම්,

20මා ඔවුන්ට දී තිබෙන මාගේ දේශයෙන් මම ඔවුන් සහමුලින් ම පහකරන්නෙමි. මාගේ නාමයට මා විශුද්ධ කළ මේ මාලිගාව මාගේ ඇස් හමුයෙන් පහකර දමන්නෙමි. එය සියලු ජාතීන් අතරේ විහිළුවක් ද උපහාසයක් ද නටබුන් ගොඩක් ද වනු ඇත.

21“මේ මාලිගාව ළඟින් යන සියල්ලෝ විස්මයට පත් ව, ‘සමිඳාණන් වහන්සේ මේ දේශයටත්, මේ මාලිගාවටත් කුමක් නිසා මෙසේ කළ සේක් දැ’යි අසන්නෝ ය.

22එවිට මනුෂ්‍යයන් කතා කොට, ‘ඔවුන් මිසර දේශයෙන් ගෙන ආ ඔවුන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ අත්හැර, අන් දෙවිවරුන්ට ඇළුම් ව, ඔවුන්ට නමස්කාර කොට වැඳුම්පිදුම් කළ නිසා, උන් වහන්සේ මේ සියලු විපත්ති ඔවුන් පිට පැමිණෙවූ සේකැ’යි කියනු ඇත.”

le>