1එකල සියලු ඉශ්රායෙල් ගෝත්‍රයෝ හෙබ්‍රොන්හි සිටි දාවිත් වෙත අවුත්, “අපි ඔබේ ම ලේ නෑයෝ වමු.
2පසු ගිය කාලයේ දී, සාවුල් අපේ රජ ව සිටි කාලයෙහි ඉශ්රායෙල්වරුන් සටනට ගෙන ගියේත්, ඔවුන් ආපසු ගෙනාවේත් ඔබ ම ය. සමිඳාණන් වහන්සේ ඔබට කතා කොට, ‘නුඹ මාගේ ඉශ්රායෙල් සෙනඟ පාලනය කරමින්, ඉශ්රායෙල් කෙරෙහි අධිපතියා වන්නෙහි ය’යි වදාළ සේකැ”යි කීවෝ ය.
3මෙසේ ඉශ්රායෙල්හි සියලු ප්‍රජා මූලිකයෝ හෙබ්‍රොන්හි සිටි රජ්ජුරුවන් වෙත පැමිණියෝ ය. දාවිත් රජු හෙබ්‍රොන්හි දී සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔවුන් සමඟ ගිවිසුමක් කෙළේ ය. ඔව්හු දාවිත් ඉශ්රායෙල්වරුන්ගේ රජු වශයෙන් අභිෂේක කළෝ ය.
4
5ඔහු හෙබ්‍රොන්හි ජුදෙව්වරුන් කෙරෙහි රජකම් කෙළේ සත් අවුරුදු හය මාසයකි; ජෙරුසලමේ ඔහු සියලු ඉශ්රායෙල්වරුන් ද ජුදෙව්වරුන් ද කෙරෙහි රජකම් කෙළේ තිස්තුන් අවුරුද්දකි.
6
7එසේ වුව ද, දාවිත් සියොන් බලකොටුව අල්ලාගත්තේ ය; එය දාවිත්ගේ නුවර විය.
8ඒ දවසේ දාවිත් කතා කොට, “ජෙබුසිවරුන්ට පහර දෙන සියල්ලෝ ම දිය අගල තුළින් ගොස් මා ද්වේෂ කරන මේ කොරුන්ටත්, අන්ධයන්ටත් පහර දෙත් වා”යි කී ය. ‘අන්ධයන් ද කොරුන් ද දේව මාලිගාවට ඇතුළු නොවිය යුතු ය’ යන කීම ඇති වූයේ මේ නිසා ය.
9දාවිත් බලකොටුවේ වාසය කෙළේ ය. එය දාවිත්ගේ නුවර යයි නම් කරන ලදී. දාවිත් මිල්ලෝ පටන් වටකරින් ද ඇතුළතින් ද නගර ගොඩනැඟුවේ ය.
10කල් යත් යත් දාවිත් බලවත් විය. එසේ වූයේ, සියලු බලැති දෙවි සමිඳාණන් වහන්සේ ඔහු සමඟ සිටි බැවිනි.
11තවද, තීර්හි රජ වූ හීරාම් තෙමේ පණිවුඩකාරයන් ද කිහිරි ලී ද වඩුවන් ද ගල් වඩුවන් ද දාවිත් වෙත එව්වේ ය. ඔව්හු දාවිත්ට මාලිගාවක් ගොඩනැඟුවෝ ය.
12තමා ඉශ්රායෙල්වරුන්ගේ රජු වශයෙන් සමිඳාණන් වහන්සේ විසින් පත් කරනු ලැබූ බවත්, උන් වහන්සේගේ සෙනඟ වන ඉශ්රායෙල් උදෙසා තමාගේ රාජ්‍යය උසස් කරනු ලැබූ බවත් දාවිත් දැනගත්තේ ය.
13දාවිත් හෙබ්‍රොන්හි සිට පැමිණි පසු තවත් උපභාර්යාවන් ද භාර්යාවන් ද ජෙරුසලමෙන් පාවාගත්තේ ය. තව පුත්‍රයෝ ද දූවරු ද දාවිත්ට දාව උපන්නෝ ය.
14ජෙරුසලමෙහි දී දාවිත්ට උපන් අයගේ නම් මේ ය: ෂම්මුවා, ෂෝබාබ්, නාතාන්, සලමොන්;
15ඉබ්හාර්, එලිෂුවා, නෙපෙග්, ජපියා;
16එලිෂාමා, එලියාදා සහ එලිපෙලෙත් ය.
17දාවිත් ඉශ්රායෙල්වරුන්ගේ රජු වශයෙන් අභිෂේක කරනු ලැබූ බව පිලිස්තිවරුන් ඇසූ කල ඔව්හු සියල්ලෝ ම දාවිත් සොයා ආවෝ ය. දාවිත් ඒ අසා බලකොටුවට බැස ගියේ ය.
18පිලිස්තිවරු අවුත් රෙපාවරුන්ගේ මිටියාවතේ පැතිර සිටියෝ ය.
19දාවිත් සමිඳාණන් වහන්සේගෙන් විචාරමින්, “මා පිලිස්තිවරුන්ට විරුද්ධ ව යන්න ද? ඔබ වහන්සේ ඔවුන් මාගේ අතට පාවා දෙන සේක් දැ”යි ඇසුවේ ය. සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, “යන්න, මම සැබැවින් පිලිස්තිවරුන් නුඹ අතට පාවා දෙමි”යි දාවිත්ට වදාළ සේක.
20දාවිත් බාල්-පෙරාශීම් නගරයට අවුත්, එහි දී ඔවුන්ට පහර දී, “ගඟක් ඉවුරු තළා යන්නා සේ සමිඳාණන් වහන්සේ මා ඉදිරියේ මාගේ සතුරන් බිඳ දැමූ සේකැ”යි කීවේ ය. එබැවින් ඔහු ඒ ස්ථානයට භංගස්ථානය යන අරුත ඇති බාල්-පෙරාශීම් යන නම තැබී ය.
21ඔව්හු තමන්ගේ දේව රූප එහි දමා ගියෝ ය. දාවිත් ද ඔහුගේ සෙනඟ ද ඒවා රැගෙන ගියෝ ය.
22පිලිස්තිවරු යළිත් පැමිණ රෙපාවරුන්ගේ මිටියාවතේ පැතිර සිටියෝ ය.
23දාවිත් සමිඳාණන් වහන්සේගෙන් විචාළ කල්හි උන් වහන්සේ කතා කරමින්, “නුඹ ඉස්සරහට නොයන්න; වටකරින් ඔවුන්ට පිටුපසින් ගොස් ඇඹිල්ල ගස්වලට ඉදිරිපිටින් ඔවුන් ළඟට පැමිණෙන්න.
24තවද, ඇඹිල්ල ගස් මුදුන්වල අඩි තබා යන ශබ්දයක් නුඹට ඇසෙන කල කඩිසර වන්න. මන්ද, ඒ වේලාවේ දී සමිඳාණන් වහන්සේ පිලිස්තිවරුන්ගේ සේනාවට පහර දෙන පිණිස නුඹට පෙරටුව යන සේකැ”යි වදාළ සේක.
25දාවිත් සමිඳාණන් වහන්සේ අණ කළ පරිදි කර, ගෙබාහි සිට ගෙශෙර්ට පැමිණෙන තෙක් පිලිස්තිවරුන්ට පහර දුන්නේ ය.