1දාවිත් රජුගේ සියලු සතුරන්ගෙන් සමිඳාණන් වහන්සේ ඔහුට හැම අතින් ම නිදහස දුන් පසු, ඔහු සිය නිවෙසෙහි වාසය කෙළේ ය.
2එසේ සිටින අතර රජතුමා නාතාන් නම් දිවැසිවරයාට කතා කොට, “මෙන්න, මම දැන් කිහිරි ගෙයක වසමි; එහෙත්, දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව කූඩාරමක් ඇතුළේ තිබේ ය”යි කීවේ ය.
3එවිට නාතාන් පිළිතුරු දෙමින්, “ඔබ ගොස් ඔබේ සිතේ තිබෙන සියල්ල කරන්න; මන්ද, සමිඳාණන් වහන්සේ ඔබ සමඟ වැඩ සිටින සේකැ”යි රජුට කීවේ ය.
4තවද, එම රාත්‍රියේ සමිඳාණන් වහන්සේගේ පණිවුඩය නාතාන් වෙත පැමිණියේ ය.
5උන් වහන්සේ මෙසේ වදාළ සේක: “නුඹ ගොස්, සමිඳාණන් වහන්සේ මෙසේ කියන සේකැ යි මගේ මෙහෙකරු වන දාවිත්ට කියන්න:
6‘මාගේ වාසස්ථානය සඳහා මට මාලිගාවක් ගොඩනඟන්නට යන්නේ නුඹ ද? මම ඉශ්රායෙල් සෙනඟ මිසරයෙන් ගෙනා දවසේ පටන් අද දක්වා ගෘහයක වාසය නොකොට කූඩාරමක ද මණ්ඩපයක ද වාසය කෙළෙමි.
7මාගේ සෙනඟ වන ඉශ්රායෙල් පාලනය කරන පිණිස මා අණ දුන් වීර පුරුෂයන්ගෙන්, ‘නුඹලා මට කිහිරි ලීවලින් ගෘහයක් ගොඩනොනැඟුවේ මන්දැ’යි සියලු ඉශ්රායෙල් සෙනඟ හැසුරුණ කිනම් ස්ථානයක දී ඇසුවෙම් ද?
8“එබැවින්, මාගේ මෙහෙකරු දාවිත්ට මෙසේ කියන්නැ යි සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. මාගේ සෙනඟ වන ඉශ්රායෙල් කෙරෙහි අධිපතියා වන පිණිස තණ බිමෙන් ද බැටළුවන් පස්සේ යාමෙන් ද මම නුඹ කැඳවාගතිමි.
9නුඹ ගිය හැමතැන්හි ම මම නුඹ සමඟ සිට, නුඹේ සතුරන් නුඹ ඉදිරියෙන් සිඳදැමුවෙමි. මිහි පිට සිටින උත්තමයන්ගේ නාමය මෙන් උසස් නාමයක් නුඹට සලසා දෙන්නෙමි.
10මාගේ සෙනඟ වන ඉශ්රායෙල් ඔවුන්ට ම හිමි ස්ථානයෙහි වාසය කරමින්, තවත් බැහැර කරනු නොලබන ලෙස මම ඔවුන්ට ස්ථානයක් නියම කොට ඔවුන් ස්ථිර කොට පිහිටුවන්නෙමි. දුෂ්ටයෝ පෙර කළා සේ තවත් ඔවුන්ට හිරිහැර නොකරන්නාහ.
11එසේ කරන්නේ, මා ඉශ්රායෙල් කෙරෙහි වීර පුරුෂයන් පත් කළ කාලයේ දී මෙන් ය. නුඹේ සියලු සතුරන්ගෙන් නිදහස ලැබෙන්නට සලස්වන්නෙමි. ඇරත්, සමිඳාණන් වහන්සේ නුඹට වංශයක් උපදවා දෙන බව සමිඳාණන් වහන්සේ ම නුඹට දන්වන සේක.
12
13ඔහු ම මාගේ නාමයට මාලිගාවක් ගොඩනඟන්නේ ය. ඔහුගේ රාජ්‍යයේ සිංහාසනය ද සදහට ම ස්ථිර කරන්නෙමි.
14
15එහෙත්, නුඹේ මාර්ගයෙන් මා විසින් අහක් කරන ලද සාවුල්ගෙන් මාගේ ස්ථිර ප්‍රේමය පහ කළ ලෙස ඒ රජුගෙන් එය පහ නොකරන්නෙමි.
16
17මේ සියලු වචනවල හැටියටත්, මේ මුළු දර්ශනයේ හැටියටත් නාතාන් දාවිත්ට දැන්විය.
18එවිට දාවිත් රජ ඇතුළට ගොස් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි හිඳගෙන, මෙසේ යැදී ය: “දෙවි ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ මෙපමණ දුර මා ගෙන ඊමට තරම් මම කවරෙක් ද? මාගේ වංශය කුමක් ද?
19එහෙත්, දෙවි ස්වාමීන් වහන්ස, මේ දේ වුව ද, ඔබ ඇස් හමුයෙහි සුළු දෙයකි. මතු බොහෝ කලකට පවතින ඔබේ මෙහෙකරුවාගේ වංශය ගැනත් ඔබ වහන්සේ කතා කළ සේක. දෙවි ස්වාමීන් වහන්ස, මතු පරම්පරා ද මට පෙන්වා ඇත.
20දාවිත් ඔබ වහන්සේට තවත් කුමක් කියන්න ද? දෙවි ස්වාමීන් වහන්ස, ඔබ නම් ඔබේ මෙහෙකරුවා දන්නා සේක.
21ඔබ මේ සියලු උසස් දේ කොට ඔබේ මෙහෙකරුවාට එය දැන්වූයේ ඔබේ පොරොන්දුව නිසා ය. ඔබේ සිතට එකඟ ලෙස ය.
22එබැවින් දෙවි ස්වාමීන් වහන්ස, ඔබ උතුම් ව සිටින සේක. ඔබ වහන්සේට සමාන කෙනෙකු ගැන අප කන්වලින් කවදාවත් අසා නැත; ඔබ හැර වෙන කිසි දෙවි කෙනෙක් ද නැත.
23
24මෙසේ ඔබේ සෙනඟ වන ඉශ්රායෙල්, සදහට ම ඔබට සෙනඟක් වශයෙන් ස්ථිර කරගෙන, සමිඳුනි ඔබ ම ඔවුන්ගේ දෙවියන් වහන්සේ ව සිටින සේක.
25“ඉතින් දෙවි ස්වාමීන් වහන්ස, ඔබේ මෙහෙකරුවා හා ඔහුගේ වංශය ගැනත් ඔබ වදාළ වචන සදහට ම ස්ථිර කොට, ඔබ වදාළ ලෙස කළ මැනව.
26‘ඉශ්රායෙල් කෙරෙහි දෙවියන් වහන්සේ ව සිටින්නේ සියලු බලැති සමිඳාණන් වහන්සේ ය’යි කියනු ලැබීමෙන් ඔබේ නාමය සදහට පසසනු ලැබේ වා! ඔබේ මෙහෙකරු වන දාවිත්ගේ වංශය ද ඔබ ඉදිරියෙහි ස්ථිර ව තිබේ.
27මන්ද, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි වන සියලු බලැති සමිඳාණන් වහන්ස, ඔබ කතා කොට, ‘මම නුඹට වංශයක් සාදා දෙන්නෙමි’යි ඔබේ මෙහෙකරුවාට එළිදරව් කළ සේක. එබැවින් මේ යාච්ඤාව ඔබට ඔප්පු කරන්නට ඔබේ මෙහෙකරුවා ධෛර්ය ගත්තේ ය.
28“ඉතින් දෙවි ස්වාමීන් වහන්ස, ඔබ ම දෙවියන් වහන්සේ ය, ඔබේ වචනය සැබෑ ම ය, ඔබ ද ඔබේ මෙහෙකරුවාට මේ යහපත් දේ පොරොන්දු වූ සේක.
29එබැවින් ඔබේ මෙහෙකරුවාගේ වංශය ඔබ ඉදිරියෙහි සදහට ම පවතින පිණිස ඊට ආශීර්වාද කරන්නට ඔබ කැමැති වන සේක් වා! මන්ද, දෙවි ස්වාමීන් වහන්ස, ඔබ එසේ වදාළ සේක. ඔබේ ආශීර්වාදය මඟින් ඔබේ මෙහෙකරුවාගේ වංශය සදහට ම ආශීර්වාද කරනු ලැබේ වා!”